Sunday, February 15, 2026
Follow Us
EPF, ETF අධිභාර බද්දට යටත් නොවේ

සේවක අර්ථසාධක අරමුදල, සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල ඇතුළු විශ්‍රාම අරමුදල් 13 ක් යෝජිත අධිභාර බද්දට යටත් නොවන බව නීතිපතිවරයා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ඒ, රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අධිභාර බදු පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද සලකා බැලූ අවස්ථාවේදීයි.

බුවනෙක අළුවිහාරේ, ඒ එච් එම් ඩී නවාස් සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් යෝජිත පනත් කෙටුම්පතට සිදු කිරීමට යෝජිත සංශෝධන අඩංගු මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නීතිපතිවරයා වෙත එවා තිබූ ලිපියක් අධිකරණයට ඉදිරිපත් කළා.

අදාළ පනත් කෙටුම්පතට, පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී සිදු කිරීමට යෝජිත සංශෝධන කිහිපයක් අන්තර්ගතව තිබෙන බවයි එම ලිපිය ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දන්වා සිටියේ.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන වැඩිදුරටත් දන්වා සිටියේ අදාළ සංශෝධන තුළින් යෝජිත බද්දෙන් සේවක අර්ථසාධක අරමුදල, සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල ඇතුළු විශ්‍රාම අරමුදල් 13 ක් නිදහස් කිරීමට පියවර ගෙන ඇති බවයි.

වාර්ෂිකව රුපියල් මිලියන දෙදහකට වැඩි ආදායමක් උපයන සමාගම් වලින් සියයට 25 ක අධිභාර බද්දක් අයකිරීමට රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පත් අභියෝගයට ලක් කරමින් සමගි ජන බලවේගය ඇතූළු පාර්ශව 10 ක් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

(Neth)