අ.පො.ස. සාමාන්‍ය පෙළ අසමත් ඔබට අවස්ථාවක්
2020 වර්ෂයේ අ.පො.ස. (ස.පෙළ) ප්‍රතිඵල අනුව අ.පො.ස (උ.පෙළ) විභාගයට සුදුසුකම් නොලැබූ සිසුන්, වෘත්තීය පුහුණුව සඳහා යොමු කොට රැකියා ගත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂා ගෝකුල මහත්මිය මේ බව පැවසීය.
2020 වර්ෂයේ අ.පො.ස. (ස.පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් අතරින් අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා සුදුසුකම් නොලද සංඛ්‍යාව 98000 ක් පමණ වේ. එයින්, ගණිතය විෂයය අසමත් නමුත් පසුව සමත්වීමේ පදනම මත අ.පො.ස. (උ.පෙළ) සඳහා ඉදිරිපත් වන සිසුන් හැර ඉතිරි පිරිස ඉලක්ක කර වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
වැඩසටහන අදියර දෙකකින් ක්‍රියාත්මක අතර, පළමු අදියර දැනට නිශ්චිත අරමුණක් රහිත සිසුන් ඉලක්ක කර ගෙන සිදුකෙරන බව අනූෂා ගෝකුල මහත්මිය පැවසීය.
දෙවන අදියර වෘත්තීය පුහුණු සඳහා යොමු වී ඇති, තරුණ සේවා හා ජාතික යොවුන් සේනාංක වෙත යොමු වී ඇති ව්‍යාපාරවලට සම්බන්ධ වී සිටින හා රැකියාවලට යොමු වී සිටින සිසුන් ඉලක්ක කර සැලසුම් කර ඇත.
අදාළ සිසුන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් හඳුනාගෙන ඔවුන්ගේ කුසලතා, හැකියා හා රුචිකත්වය අනුව වෘත්තීය පුහුණුව සඳහා යොමු කිරීමට අපේක්ෂා කෙරේ. ඔවුනට ප්‍රාදේශීය වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරීන් හා මානව සම්පත් සංවර්ධන නිලධාරීන් හමුවී තම තොරතුරු ලබාදිය හැකිවේ. වැඩසටහනට අදාළ තොරතුරු www.dome.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගැනීමට පිළිවන.
මෙම වැඩසටහනේ සියලුම සේවා නොමිලේ සැපයේ. සිසුනට අවුරුද්දක් වැනි කාලයක් තුළ NVQ මට්ටමකට ලඟා විය හැකි බව අධ්‍යක්ෂ ජනරාල් අනූෂා ගෝකුල මහත්මිය මාධ්‍ය සාකච්ඡාවේදී පැවසුවාය. මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.කේ.ඩබ්. සිසිර කුමාර මහතා ද මාධ්‍ය සාකච්ඡාවට එක්වීය.
(Aruna)