Sunday, February 15, 2026
Follow Us
ඇඹිලිපිටිය කඩදාසි කම්හල යලි අරඹන්න කැබිනට් අනුමැතිය

ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදන කටයුතු රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ නැවත ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. සීමා සහිත ජාතික කඩදාසි සමාගම සතු ඇඹිලිපිටිය කඩදාසි කම්හල වසා දමා ඇත්තේ 2012 වර්ෂයේ සිටයි.

එම කම්හල පිහිටි ඉඩම සහ ගොඩනැගිලි වසර 30 ක කාල සීමාවක් සඳහා දේශීය ආයෝජන සමාගමක් වන කොරියන් ස්පා පැකේජින් පුද්ගලික සමාගම වෙත ලබාදීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

එහෙත් අදාළ ඉඩම විධිමත් පරිදි සීමා සහිත ජාතික කඩදාසි සමාගම වෙත ලබාදීමට කටයුතු කර නොතිබූ බැවින් එම අමාත්‍ය මණ්ඩල තීරණය අනුව කටයුතු කිරීමට හැකි වුණේ නැහැ. එම කම්හල පිහිටි අක්කර 111 ක ඉඩම දීර්ඝ කාලීන බදු පදනම මත ජාතික කඩදාසි සමාගම වෙත ලබාදීම සඳහා මේ වන විට කටයුතු කෙරෙමින් පවතිනවා.

ජාතික කඩදාසි සමාගම සහ කොරියන් ස්පා සමාගම සමඟ එකඟතාවකට පැමිණ ඇති කොන්දේසි සහිත ගිවිසුමකට එකඟවීමෙන් අනතුරුව රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ කම්හලේ කටයුතු නැවත ආරම්භ කිරීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.

(Neth)