Sunday, February 15, 2026
Follow Us
සියලුම රාජ්‍ය ආයතන සඳහා අද විශේෂ දැනුම් දීමක්

විදුලිය සහ ඉන්ධන අරපිරිමැස්සෙන් භාවිත කිරීමට පියවර ගන්නැයි උපදෙස් ලබාදෙමින් රාජ්‍ය ආයතන වෙත අද දිනයේ චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතයි.

මෙම චක්‍රලේඛය නිකුත් කිරීමට සැලසුම් කර තිබුණේ ඊයේ දිනයේයි. එහෙත් සංශෝධන කිහිපයක් හේතුවෙන් එය අද දිනයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි නෙත් නිවුස් වෙත සඳහන් කර සිටියේ.

ඒ අනුව එම චක්‍රලේඛය අද දිනයේ සියලූ රජයේ ආයතනවලට නිකුත් කරනු ඇති. ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම කළ ඉල්ලීමකට අනුව අදාළ උපදෙස් නිකුත් කිරිමට නියමිතයි.

මේ යටතේ රාජ්‍ය ආයතනවල වායුසමීකරණ හා අනවශ්‍ය විදුලි පහන් භාවිතය හැකිතාක් අවම කිරීමට උපදෙස් නිකුත් කෙරෙනු ඇති. අත්‍යවශ්‍ය නොවන ගමන් වෙනුවෙන් රජයේ වාහන සඳහා ඉන්ධන භාවිත නොකළ යුතු බවට වන නියෝගයක් ද රාජ්‍ය ආයතන වෙත ලබාදීමටයි නියමිතව ඇත්තේ.

පිට පළාත්වල සිට සාකච්ඡා හා සම්මන්ත්‍රණ සඳහා රජයේ වාහන භාවිත කර නිලධාරීන් කොළඹට කැඳවීම මේ වනවිටත් සීමා කර ඇති බවයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි නෙත් නිවුස් වෙත පැවසුවේ.

(Neth)