Monday, February 16, 2026
Follow Us
EPF, ETF අධිභාර බද්දේ ගැටලු අද කැබිනට් මණ්ඩලයට

සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලෙන් අධිභාර බද්දක් අයකර ගැනීමේ යෝජනාවට මේවනවිට දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබෙනවා. එවන් පසුබිමක එම යෝජනාව සම්බන්ධයෙන් අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී ද සාකච්ඡාවට ලක් කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

මේවනවිට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 02 ක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඊට විරෝධය පළ කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී අධිභාර බද්ද සම්බන්ධයෙන් කරුණු මතු කරනු ඇති බවයි වාර්තා වන්නේ. මෙම අධිභාර බදු පනත් කෙටුම්පතට එරෙහිව වෙලඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානය ද දැඩි විරෝධයක් එල්ල කර තිබෙනවා.

ආණ්ඩුව සිය බංකොලොත්භාවය වසා ගැනීම සඳහා මෙවැනි අරමුදල්වල මුදල් ලබාගැනීමේ උත්සහයක නිරත වී සිටින බවයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කළේ.

කෙසේවෙතත් රටේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම පනත් කෙටුම්පත ගෙන එන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසුවා.

(Neth)