Monday, February 16, 2026
Follow Us
අඩුවට ගත් වී වැඩි මිලට මණ්ඩලයට දීලා

ගොයම් කපන තෙක් අස්වැන්න මිලදී ගැනීම නවත්වයි


ඇතැම් වී මෝල් හිමියන් සහ අතරමැදියන් මීට පෙර කන්නවලදී මිලදී ගත් වී තොග වී අලෙවි මණ්ඩලයට අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වීම හේතුවෙන් මහ කන්නයේ අස්වැන්න මෙතෙක් නොකපන ලද ප්‍රදේශවලින් මිලදී ගැනීම නතර කළ බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල අස්වනු මේ දිනවල නොකැපුවත්, එම ප්‍රදේශවලින් මණ්ඩලයට වී ලැබී තිබූ බවත්, වී මෝල් හිමියන් සතු පැරණි වී තොග මණ්ඩලයට මෙලෙස එවා ඇතැයි තහවුරු වන බවද ඇමැතිවරයා කීය. මීට අමතරව, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්ද මෙවැනි සිද්ධීන් වාර්තා වූ බවද ඇමැතිවරයා කීවේය.

රජයේ ප්‍රධාන අරමුණ ගොවියාට වී අස්වනු සඳහා වැඩි මුදලක් දීම වූවත්, අතරමැදියන් සහ වී මෝල් හිමියන්ට එම අවස්ථාව නොලැබෙන බවද ඔහු කීය.වී මෝල් හිමියන් සහ අතරමැදියන් පිරිසක් මෙලෙස පසුගිය කන්නවලදී අඩු මිලට මිලදී ගත් වී මෙට්‍රික් ටොන් 6000 ක පමණ තොගයක් මණ්ඩලයට අලෙවි කර තිබුණි. මණ්ඩලය දැනට වී මිලදී ගන්නේ වී අස්වනු කැපෙන ප්‍රදේශවලින් පමණක් බවද ඇමැතිවරයා පැවසීය.

(Aruna)