ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම වසර 05 ක් තුළ වාර්තා වූ අඩුම ප්‍රතිශතය මේවනවිට පෙන්නුම්කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ අනුව එම ජල ප්‍රතිශතය ප්‍රමාණවත් වන්නේ සති දෙකක කාලයක් සඳහා විදුලිය නිපදවීමට පමණයි. ඉකුත් වසර 05 ට සාපේක්ෂව මෙම කාලය තුළ ජල මට්ටම අඩු වුවද, විදුලිය නිපදවීම ඉතා ඉහල අගයක පවතින බවයි විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
ඒ අනුව පවතින තත්ත්වය හමුවේ වැසි නොලැබුන හොත් අප්‍රේල් මාසය වන විට ජල විදුලිය නිපදවීමට නොහැකි වනු ඇති බවයි එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ. අප්‍රේල් මාසය වන විට වැසි නොලැබුන හොත් පැය 06 ක් දක්වා දෛනිකව විදුලිය කප්පාදු කිරීමේ අවධානමක් පවතිනවා.
පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට විදුලි පාරිභෝගිකයින් කටයුතු කළ යුතු බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ.
මාස තුනක කාලයක් දෛනික විදුලි කප්පාදුවක් සඳහා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අවසර ඉල්ලා තිබෙනවා.
එහෙත් විදුලි කප්පාදුවකින් තොරව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට ඊයේ කැඳවූ සාකච්ඡාවේදී තීරණය කළ බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.
විදුලිය නිපදවීම සඳහා තාප බලාගාරවලට දෛනිකව අවශ්‍ය වන දැවි තෙල් ප්‍රමාණය කියුබික් මීටර් 1,140 ක්. එහෙත් දැනට පවතින්නේ කියුබික් මීටර් 1,130 ක් පමණයි. විදුලිය නිපදවීම සඳහා අවශ්‍ය නැප්තා ප්‍රමාණය කියුබික් මීටර් 950 ක්.
කෙසේවෙතත් මේවනවිට විදුලිබල මණ්ඩලය සතු නැප්තා ප්‍රමාණය අවසන් වී තිබෙනවා. අවශ්‍ය ඩීසල් ප්‍රමාණය කියුබික් මීටර් 2,590 ක් වන අතර දැනට පවතින්නේ ඩීසල් කියුබික් මීටර් 1,900 ක් පමණයි.
මේ අතර ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ඊයේ රාත්‍රියේ තුල්හිරිය විදුලි බලාගාරයේ කටයුතු ද නවතා දමා තිබෙනවා. එම බලාගාරය අක්‍රීය වීමත් සමග ජාතික විදුලි පද්ධතියට අහිමිවන විදුලි ධාරිතාව මෙගාවොට් 08 ක්.
මේ අතර කෙරවලපිටිය බලාගාරයක ඊයේ පස්වරුවේ හදිසි බිඳ වැටීමක් සිදුව තිබුණා. එය මේවනවිටත් යථාතත්ත්වයට පත් කර නැහැ. එමෙන්ම ඊයේ පස්වරුවේ හදිසි බිඳවැටීමකට ලක්වූ කැළණිතිස්ස සොජිට්ස් පෞද්ගලික බලාගාරය මේවනවිට යථාතත්ත්වයට පත් කර ජාතික පද්ධතියට එක්කර තිබෙනවා.
(Neth)