Monday, February 16, 2026
Follow Us
රජය ගත් තීරණ කිහිපයක් මෙන්න

කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්තිවල යම් හිඟයක්


එළඹෙන උත්සව සමයේදී ජනතාවට හිඟයකින් තොරව අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාදීමට රජය සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව පාරිභෝගිකයන් වෙත ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කළ කමිටුව ඊෙය් (11) පළමු වරට රැස්වූ අවස්ථාවේදීය.

එහිදී රජය කුමන ආකාරයේ බදු සහන ලබාදුන්න ද එම සහන පාරිභෝගික ජනතාවට නොලැබීමේ තත්ත්වය පිළිබඳව අවධානය යොමුවූ අතර, කූඨ වෙළෙඳුන් රජයේ සහන යටතේ ලබාගන්නා භාණ්ඩ අධික මිල ගණන් යටතේ අලෙවි කරන බව මෙහිදී අනාවරණ වුණි.

මේ අතර එකම භාණ්ඩය දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කය තුළ මිල ගණන්වල විශාල වෙනස්කම් සහිතව අලෙවිවීම පිළිබඳ තොරතුරු දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම තත්ත්වය ඇතිවීමට හේතුව මිල දර්ශනය ප්‍රදර්ශනය කිරීමේ අනිවාර්ය නීතිය රට තුළ ක්‍රියාත්මක නොවීම බවය.

ඒ අනුව මිල දර්ශනය භාෂා තුනෙන්ම ප්‍රදර්ශනය කිරීම වෙනුවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ගණන් පමණක් හෝ අනිවාර්යෙන් ප්‍රදර්ශනය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතු බව මුදල් අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

මේ අතර කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්තිවල යම් හිඟයක් පැවතියද සෙසු සියලු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල ප්‍රමාණවත් තොග පවතින බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කමිටුව හමුවේ ප්‍රකාශ කළේය.

(Aruna)