මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 20 ක කොටස ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලිය නව මුහුණුවරකින් ආරම්භ කර ඇතැයි වාර්තා වනවා. ඒ, මාර්ගය ඉදිකිරීම් සඳහා පළමු වරට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අදාළව ප්‍රසම්පාදන ක්‍රියාවලිය යළි ආරම්භ කිරීමත් සමඟයි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටස ඉදිකිරීම පිළිබඳ කතාබහක් මතු වුණේ එහිදී ගෙන ඇතැයි කියන ඇතැම් තීන්දු හේතුවෙන් ශ්‍රී ලංකාවට මූල්‍යමය පාඩුවක් සිදුවන බවට වාර්තා පළ වීමත් සමඟයි.
2021 වසරේ මේ සඳහා වන පළමු කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ අදාළ මාර්ග කොටස ඉදිකිරීමට ටෙන්ඩර් කැදවීම, ඊට අනුමැතිය ලබා ගැනීම හා ඉදිරි ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීමටයි. එම කටයුතු ඉදිරියට සිදුකිරීමට මෙන්ම කොන්ත්‍රාත්කරු තෝරා ගැනීම සඳහා ද කැබිනට් අනුමැතියකින් තිදෙනෙකුගෙන් යුත් සාකච්ඡා සම්මුති කමිටුවක් ද පත් කෙරුණා. ඒ, සිදු කෙරෙන විවෘත ලංසු කැඳවීම අධීක්ෂණය සඳහායි.
වසරක් පමණ ක්‍රියාත්මක වූ මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවලංගු කරන ලෙස දන්වමින් දෙවැනි කැබිනට් පත්‍රිකාව 2022 වසරේ ජනවාරි 16 වනදා ඉදිරිපත් කර ඇති බවටයි වාර්තා වුණේ. කෙසේවෙතත් එහිදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්වුවද කැබිනට් මණ්ඩලය එය සාකච්ඡාවට පවා ගෙන නොමැති බව නෙත් නිවුස් පසුව කළ ගවේශණයකදී තහවුරු වුණා.
ඊට හේතුවී ඇත්තේ විෂය භාර අමාත්‍යවරයා විසින් තවත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවට එහිදී ප්‍රකාශවීම හේතුවෙන්. ඉකුත් ජනවාරි 27 වනදා මීට අදාළ තවත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්වී ඇති අතර එහි දැක්වෙන්නේ මේ සඳහා ඉදිරිපත් කළ පළමු කැබිනට් පත්‍රිකාවට අනුවම ඉදිරි කටයුතු සිදුකරගෙන යන බවටයි. ඒ අනුව දැන් සිදුවන්නේ 2021 වසරේ මේ සඳහා ඉදිරිපත් කළ පළමු කැබිනට් පත්‍රිකාවට අදාළ කටයුතු බවයි වාර්තා වන්නේ. ඒ අනුව මාර්ගයේ ඉදිකිරීම් සඳහා ඉදිරිපත්වී ඇති චීන සහ ශ්‍රී ලංකා සමාගම්වල මූල්‍ය යෝජනාව යළි විවෘත කර ඊට අදාළ කටයුතු සිදුවනු ඇති.
ඇතැම් වාර්තාවල දැක්වුණේ විවෘත ලංසු කැඳවීමේදී චීන සහ ශ්‍රී ලංකා සමාගම් දෙකක් සිය මූල්‍ය යෝජනාවලිය විවෘත කර තිබූ බවයි. චීන සමාගමේ යෝජනාව වී ඇත්තේ රුපියල් බිලියන 210 ක්. මාර්ගය ඉදිකිරීම සදහා රුපියල් බිලියන 375 ක මූල්‍ය යෝජනාවක් ශ්‍රී ලංකා සමාගම ඉදිරිපත් කර බවද වාර්තා වුණා. ඒ අතරතුර ප්‍රකාශ වුණේ අඩු මූල්‍ය යෝජනාවක් ඉදිරිපත් කර ඇති චීන යෝජනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ශ්‍රී ලංකා සමාගමේ මූල්‍ය යෝජනාවලිය විවෘත කිරීමේ සූදානමක් ඇති බවයි.
2021 වසරේ මේ සඳහා වන පළමු කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමෙන් පසු පත්කෙරුණු සාකච්ඡා සම්මුති කමිටුවේ මූලික නිර්දේශය වී ඇත්තේ චීන සමාගමට මෙම කොන්ත්‍රාත්තුව ලබාදීමට බවයි වැඩිදුරටත් වාර්තා පළ වුණේ.
(Neth)