කම්කරු ඇමති පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය
කම්කරු වන්දි කොමසාරිස් සතු බලතල කම්කරු විනිශ්චය සභාවලට ලබා දීමට අපේක්ෂා කරන බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09 වැනිදා) පැවසීය.
කම්කරු වන්දිවලට අදාළ නඩු දහසකට අධික ප්‍රමාණයක් ප්‍රමාද වෙමින් පවතින බවත් එම සියලු නඩු විසඳීමට සිටින්නේ එක් කොමසාරිස්වරියක පමණක් බවත් කී ඇමැතිවරයා ‘‘ටයිප් රයිටරය කාරෙකේ දමාගෙන කොමසාරිස්වරියට රට වටේ යාමට සිදු වෙලා“ යැයි ද කීවේය.
ඇමැතිවරයා මෙසේ ද සඳහන් කළේය.
‘‘කම්කරු නඩු දහසය දහසක් ප්‍රමාද වෙමින් පවතිනවා. කම්කරු වන්දි කොමසාරිස් කාර්යාලය ගැන ජාතික විගණන කාර්යාලයේ හොඳ විගණන විමසුමක් ලැබුණා. කම්කරු වන්දි නඩු දහසකට අධික සංඛ්‍යාවක් තිබෙනවා. එක කොමසාරිස්වරයයි ඉන්නේ. ඇයට ටයිප් රයිටරය කාරෙකෙ දාගෙන ලංකාව පුරාම යන්න සිදුවෙලා. විගණන විමසුමේ හොඳ කරුණු සඳහන් කර තිබෙනවා.
කම්කරු වන්දි කොමසාරිස් බලතල කම්කරු විනිශ්චය සභාවලට දුන් පසු නඩු ඉක්මනින් අවසන් කරන්න හැකිවෙයි. කම්කරු විනිශ්චය සභා හතළිස් හතරක් පවතිනවා. ඒ අතරෙ නඩු බෙදා හරින්න පුළුවන්. ඊට අදාළ නීතිමය කටයුතු සිදු වී තිබෙනවා.
කම්කරු නඩුවලට අදාළ අභියාචනා සඳහා වෙනම ම විනිසුරුවරුන් කිහිප දෙනෙක් පත්කර නඩු ඉක්මන් කිරීම හොඳයි. අගතියට පත් කම්කරු ජනතාවට සාධාරණත්වය ඉටු කළ යුතුයි. එය අපේ ප්‍රමුඛතාව බවට පත් විය යුතුයි.
(Aruna)