Monday, February 16, 2026
Follow Us
අධ්‍යාපන ලේකම්වරයාට චෝදනාවක්

විධිමත් පටිපාටියෙන් බැහැරව 06 ශ්‍රේණිය සඳහා සිසුන් දෙදෙනෙකු ඇතුලත් කිරීමට අනුමත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරාට චෝදනා එල්ල වනවා. කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ 06 ශ්‍රේණියට සහ හලාවත ආනන්ද ජාතික පාසැලේ 06 ශ්‍රේණියට සිසුවියන් දෙදෙනෙකු ඇතුලත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා අදාළ පාසැල්වල විදුහල්පතිවරුන් වෙත ලිපි නිකුත් කර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

සාමාන්‍ය පටිපාටියට අනුව 05, 06 ශ්‍රේණිවලට එලෙස සිසුන් ඇතුලත් කිරීමට අධ්‍යාපන ලේකම්වරයාට හෝ බලයක් නොමැති බවයි අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ නිලධාරීන් පෙන්වා දෙන්නේ. 05 ශ්‍රේණියේදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සහ 06 ශ්‍රේණියේදී ශිෂ්‍යත්ව විභාග කඩඉම් ලකුණු අනුව පාසැල්වලට සිසුන් ඇතුලත් කිරීම ඊට හේතුවී තිබෙනවා.

හලාවත ආනන්ද ජාතික පාසැලේ 06 ශ්‍රේණියට ඇතුලත් කිරීමේ කඩඉම් ලකුණ 181 ක් වනවා. එම පාසැලට සිසුවියක් ඇතුලත් කර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා අනුමැතිය ලබාදී ඇත්තේ ශිෂ්‍යත්ව විභාගයේදී ලකුණු 180 බැගින් ලබාගත් සිසුන් 36 දෙනෙකු පොරොත්තු ලේඛනයේ රැඳී සිටියදීයි.

කුරණෑගල මලියදේව බාලිකා විදයාලයේ හය වන ශ්‍රේණියට ශිෂ්‍යාවන් බඳවා ගන්නා කඩඉම් ලකුණ 191 ක් වනවා. එම පාසැලේ 06 ශ්‍රේණියට ඇතුලත් වීම සඳහා ලකුණු 190 බැගින් ලබා ගත් සිසුවියන් 42 දෙදෙනෙකු පොරොත්තු ලේඛණයේ රැදී සිටින බවයි වාර්තා වුණේ.

(Neth)