Monday, February 16, 2026
Follow Us
කිලෝව රුපියල් 90 බැගින් රජය වී මිලදී ගැනීම අරඹ​යි. හාල් මිලට මොනවා වෙයිද ?

අම්පාර දිස්ත්‍රික්කයේ මහ කන්නයේ රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල යටතේ නාඩු වී කිලෝවක් රුපියල් 90කට සහ සම්බා වී කිලෝවක් රුපියල් 92 කට මිලදී ගැනීමට ඊයේ දින (05) පියවර ගෙන තිබුණි.

වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීම් මෙලෙස ආරම්භ කර ඇත්​තේ රජය පෙර ප්‍රකාශයට පත් කර ති​බූ රු. 75ක සහතික මිල ඉක්මවා යමිනි.

දිනකට වී මෙට්‍රික් ටොන් 1500 කට ආසන්න ප්‍රමාණයක් මිල දී ගැනීම සිදු කළ බව​ත් අම්පාරෙන් ආරම්භ ​වූ වී මිලදී ගැනීමේ වැඩසටහන සාර්ථක එකක් ​වූ බව වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇ​ත.

ඒ අනුව ප්‍රමිතියෙන් යුතු කීරී සම්බා වී කිලෝවක් රුපියල් 95කට, සම්බා වී කිලෝවක් රුපියල් 92 කටත් නාඩු වී කිලෝවක් රුපියල් 90කටත් මිලදී ගැනුණි.

පසුගිය සමයේ වී ඇතිවූ පොහොර හිඟය නිසා අස්වනු සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවී ඇති බවට ගොවීන් ප්‍රකාශ කරන අතර රජය ඉහළ මිලකට වී මිලදී ගැනීම ආරම්භ කරන්නේ ඊට පිළිතුරු වශයෙනි.

කෙසේවෙතත් වී කිලෝවක් රුපියල් 90කට වඩා වැඩි මිලකට අලෙවි වන්නේ නම් සහල් කිලෝවක මිල කීයක් දක්වා වැඩිවේද යන්න ගැටලුවක් වී තිබේ. දැනටත් සුදු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 160ක් වැනි මට්ටමක පවතී.

(LNW)