Monday, February 16, 2026
Follow Us
අගමැතිගේ නිදහස් පණිවුඩය

එකිනෙකාට ගරු කරන, අනෙකාගේ පැවැත්මට බාධා නොකරන සමාජ පරිවර්ථනයක් තුලින් අපට නිදහසේ අරුථ තවත් පුළුල් කරගත හැකියැයි තමන් විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

74 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ 74 වසරකට පෙර ලැබූ මෙම නිදහසේ සැබෑ ආශ්වාදය අභ්‍යන්තර අරගල සහ දශක 03 ක ත්‍රස්තවාදී යුද්ධය නිසා මෙරට ජනතාවට අහිමි වූ බවයි. වීරෝධාර රණවිරුවන්ගේ අප්‍රතිහත ධෛර්්‍යයට සහ කැපවීමට නායකත්වය දෙමින් මීට වසර 13 කට පෙර යුද්ධය නිමා කොට ජනතාවට බියෙන් සැකෙන් තොර රටක් නැවත උරුම කරදීමට හැකිවූ බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

උදාකළ ඒ නිදහස නැවත අභියෝගයට ලක්වෙමින් තිබියදී රටේ පාලනය නැවතත් භාර ගනිමින් රටේ ආරක්ෂාව තහවුරු කළ සිය රජය ලෝක වසංගත තත්ත්වය හමුවේ බිදවැටුණු මිනිස් ජීවිත හා ආර්ථිකය නගා සිටුවීමේ දැවැන්ත අරමුණ ජය ගැනීමට පෙළ ගැසී සිටිනවා. මෙම පීඩාකාරී වසංගත තත්ත්වයෙන් ජීවිත නිදහස් කොට ආරක්ෂා කිරීමේ රජයේ එන්නත්කරණ වැඩපිලිවෙල මේ වන විට ලෝක මට්ටමේ ඇගයීමට ලක්වීම අප සියලු දෙනා රටක් ලෙස ලැබූ ජයග්‍රහණයක් බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ. දැන් එළඹ ඇත්තේ අභියෝග මතින් එක්ව නැගී සිටිය යුතු කාලයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය නිදහස් දින පණිවුඩයේ දක්වා තිබෙනවා.

මේ අතර නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ ලැබූ නිදහස අර්ථවත් වන්නේ හුදෙක් අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලද දිනය පිළිබඳ සැමරීමෙන් නොව එම නිදහස පියවරෙන් පියවර ඉදිරියට ගෙන යමින් දියුණු ප්‍රජාවක් ලෙස ශ්‍රී ලාංකිකයාට ජීවත් වීමට අවැසි පරිසරයක් නිර්මාණය කිරීමෙන් බවයි. අපට පිටුපසින් සිටි බොහෝ රටවල් අප පසුකර ඉදිරියට පැමිණ තිබෙනවා. එම රහස අවබෝධ කර ගනිමින් පටු චින්තනයන්ගෙන් ඉවත්වී සැබෑ කැපවීමෙන් ප්‍රායෝගික න්‍යාය පත්‍රයක පිහිටා රට වෙනුවෙන් කටයුතු කළ යුතු බවයි විපක්ෂ නායකවරයා නිකුත් කළ නිදහස් දින පණිවුඩයේ දැක්වෙන්නේ.

(Neth)