Monday, February 16, 2026
Follow Us
අඛණ්ඩව විදුලිය දීගන්න බෑ. කප්පාදුවක් අනිවාර්යයයි. ගම්මන්පිල දින වකවානුත් කියයි

පෙබරවාරි මාසයේ මැද භාගය හෝ මාර්තු මාසයේ මුල් සමය වනවිට අනිවාර්යයෙන්ම විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

“කැබිනට් අමාත්‍යවරයෙකු හැටියට මම තත්වය පැහැදිලි කළ යුතුයි. සෑම වසරකම ශ්‍රී ලංකාවේ විදුලි ඉල්ලුම 8% කින් ඉහළ යනවා. ඒ නිසා රජය සෑම විටම ඉල්ලුමට සරිලන පරිදි නව විදුලි බලාගාර ජාතික පද්ධතියට එක් කළයුතුයි. නමුත් අවාසනාවන්ත ලෙස 2014 වසරේ සිට නව බලාගාර එකතුවී නැහැ.

සාමාන්‍යයෙන් ජනවාරි සිට අප්‍රේල් දක්වා පවතින වියළි කාලගුණයත් සමග අපේ විදුලි නිෂ්පාදනය වැඩි වශයෙන් යැපෙන්නේ තාප බලාගාර මතයි. දැන් තාප බලාගාර වලටත් රටේ සමස්ත විදුලි ඉල්ලුම සපයන්න බෑ. අපි දත්ත බැලුවොත් නොවැම්බර් මාසය වනවිට රටේ සමස්ත විදුලි නිෂ්පාදනයෙන් 65%ක් සැපයුනේ ජන විදුලියෙන්. දැන් මෙය 25% ක් දක්වා අඩුවෙලා තියෙනවා.

ඒ නිසා මම අනාවැකි පළ කරනවා මාර්තු මාසයේ මුල් සමය වනවිට හෝ පෙබරවාරි මාසයේ මැද භාගය වනවිට අනිවාර්යයෙන්ම විදුලි කප්පාදුවකට යෑමට සිදුවෙයි කියලා”

උදය ගම්මන්පිල අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබුණේ විදෙස් ප්‍රවෘත්ති සේවාවක් සමග අදහස් දක්වමිනි.

(LNW)