Monday, February 16, 2026
Follow Us
එක රටක් එක නීතියක් කාර්ය සාධක බලකායේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීම

එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම කාර්ය සාධක බලකායේ සාමාජිකයින් අතර පසුගිය 20 වනදා පැවැත්විණි.

එහිදී කාර්ය සාධක බලකාය වෙත මෙතෙක් ලැබී ඇති යෝජනා පිළිබඳව සභාපති හිමියන් වන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ විසින් දීර්ග ලෙස කරුණු දක්වන ලදි.

මෙම සාකච්ඡාව සඳහා එක්වූ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන් විසින් ආදීවාසී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් යෝජනාවලියක් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගන්වන ලදි.

එක නීතියක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් දැනට අර්බුදයන්ට මුහුණ දී ඇති ප්‍රජාව නියෝජනය කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි නියෝජිතයන් විසින් කරුණු දැක්වීම ද එදින සිදුකෙරුණු අතර ඒ සඳහා ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ජේෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග, ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර යන මහත්වරුන් එක්විය.

(LNW)