Monday, February 16, 2026
Follow Us
ආයතනවල ඇති ජෙනරේටර්ස් විදුලි උත්පාදනයට ගන්න යෝජනාවක්

මේ වන විට පවතින විදුලි අර්බුදයට ප්‍රධාන හේතුව 2014 වසරේ සිට මේ දක්වා විදුලි උත්පාදනයට කිසිදු ප්‍රධාන සැලැස්මක් ක්‍රියාත්මක නොවීම බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ජනක රත්නායක පැවසුවේ 2016 වසරේදී ඉදිරි වසර 20 වෙනුවෙන් සකස් කළ ජාතික විදුලි ජනන සැලැස්මේ නිර්දේශ පවා ක්‍රියාත්මක කර නොමැති බවයි.

කඩිනම් ක්‍රියාමාර්ග නොගතහොත් පවතින තත්ත්වය තවදුරටත් තීවෘ විය හැකි බවත්, ඉන්ධන අර්බුදය උග්‍ර වුවහොත් තත්ත්වය මීට වඩා දරුණු වන බවත් ඔහු පැවසුවා.

මේ වන විට පවතින තත්ත්වය සලකා පෞද්ගලික හා රාජ්‍ය ආයතනවල අතිරේකව ඇති විදුලි ජනන යන්ත්‍ර හෙවත් ජෙනරේටර්ස් භාවිත කර විදුලි උත්පාදනය කර ජාතික පද්ධතියට එක් කිරීම වඩා යෝග්‍ය බවයි ඔහු පැවසුවේ. රට තුළ එලෙස ඇති විදුලි ජනන යන්ත්‍රවලින් මෙගාවොට් 3,000 ක විදුලි ධාරිතාවක් එකවර උත්පාදනය කිරීමට හැකි බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මේ අතර පවතින විදුලි අර්බුදය හමුවේ විදුලි භාවිතාව අඩු කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව නිර්දේශ මාලාවක් ද මහජන උපයෝගිතා කොමිශන් සභාව විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

(Neth)