වාහන ආනයනය නතර කරන්න හේතුව ජනපති කියයි
ඉදිරියේදී වාහන ආනයනය සදහා අවසර ලබාදෙන විට විදුලි බලයෙන් ධාවනය වන වාහන සදහා ප්‍රමුඛතාවය ලබාදීමට බලාපොරොත්තු වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ 09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයේ ආරම්භ කරමින්.
විදේශ විනිමය, වාහන ආනයනය මෙන්ම ඉන්ධන භාවිතය පිළිබදව ජනාධිපතිවරයා දැක්වුයේ මෙවැනි අදහසකි.
වර්ථමානයේ ආර්ථික කළමණාකරණයේදී අප මුහුණදෙන බරපතලම අභියෝගය මේ වන විට උද්ගතවී ඇති විදේශ විනිමය ගැටළුවයි.
කාලාන්තරයක් තිස්සේ රජයන් ගණනාවක් විසින් තිරසාර විසදුමක් ලබාදීමට නොහැකි වූ ගැටළුවක උච්චතම අවස්ථාවට අද අප මුහුණ දී තිබෙනවා.
2019දි මා රට භාර ගන්නා අවස්ථාවේ රටේ විදේශ විනිමය සංචිතය තිබුනේ ඇමෙරිකානු ඩොලර් බිලියන 7.2ක් පමණයි. ඉන් කොටසක් කෙටි කාලීන ණය වශයෙන් ලබාගත් මුදල්.
ඒ වන විට ඉදිරි වසර දෙක තුළ වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 6කට වැඩි විදේශ ණය වාරිකයන් ගෙවන්නට තිබුණා.
මේ දක්වා පැවැති රජයන් වරින් වර ගෙන තිබූ ණය අපට ගෙවන්න සිදුවී තිබුණි. මේ තත්ත්වය යටතේ අපේ වියදම් පාලනය කර ගැනීමට අසමත් වුවහොත් නුදුරු අනාගතයේදී විදේශ විනිමය ප්‍රශ්නයක් වන බව අප කළින් අවබෝධ කර ගනු ලැබුවා.
ඒ නිසා තමයි වාහන ආනයනය තාවකාලිකව නතර කිරීම, අත්‍යාවශ්‍ය නොවන විවිධ ආනයනික විවිධ භාණ්ඩ ගෙන්වීම සීමා කිරීම වැනි ජනප්‍රිය නොවන තීන්දු ගන්නට අපට සිදුවුණේ.
මේ හරහා සමස්ත ආනයන වියදමේ පාලනය කර ගන්න පසුගිය වසර දෙක තුළ අපට පුළුවන් වුණා.
මේ අතර වාර්ෂිකව අපේ රටේ ආනයන වියදමෙන් 20%ක් පමණ වෙන් වන්නේ තෙල් ආනයනය සදහායි.
සමස්ත අපනයන ආදායම මසකට ඩොලර් මිලියන 1000කටත් වඩා අඩු ප්‍රමාණයක් වන විට තෙල් සදහා පමණක් මාසයකට ඩොලර් මිලියන 350කට ආසන්න ප්‍රමාණයක වියදමක් දැරීමට අපට සිදුවෙනවා.
මෙලෙස ආනයනය කරන තෙල් වලින් 70%ක් පමණ වැය වන්නේ වාහන සදහා ඉන්ධන වශයෙන්.
විදුලි උත්පාදනය සදහා 21%ක් පමණ වැය වනවා. කර්මාන්ත සදහා යොදා ගැනෙන්නේ 4%ක් පමණයි.
ඉදිරියේදී වාහන ආනයනය සදහා අවසර ලබාදෙන විට විදුලි බලයෙන් ධාවනය වන වාහන සදහා ප්‍රමුඛතාවය ලබාදෙන්නට අප බලාපොරොත්තු වනවා.
ඒ අනුව වාහන සදහා විදුලිය සැපයීමේදී හැකිතාක් දුරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කරන්නට අපි සැලසුම් කළ යුතුයි.
(Aruna)