මෙරට ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අද විශේෂ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නියමිතයි. ඒ අනුව මේ වසරේ ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දෙන කෙටි කාලීන හා දිගු කාලීන අභියෝග මෙන්ම ඒවායේ විසදුම් කවරේදැයි මෙහිදී පැහැදිලි කරනු ඇති.
සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පැවසුවේ මෙරට විදෙස් සංචිත ප්‍රමාණය, රන් සංචිත ප්‍රමාණය මෙන්ම ණය ගෙවීමේ හැකියාව සම්බන්ධයෙන් එහිදී පැහැදිලි කරනු ඇති බවයි.
මේ අතර ජනවාරි මස 22 වෙනිදා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරයන් කල් පිරීමේදී එය පියවීමට රජයට හැකියාවක් නොමැති බවට ඇතැම් පුද්ගලයින් ප්‍රකාශ කළ බවත් එම මුදල් පියවීමට සුදානම් වන විට එය නොගෙවෙන ලෙස ඉල්ලා සිටින බවත්, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.
ඔහු සඳහන් කර ඇත්තේ 2021 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ආනයනයන් ඩොලර් බිලියන 21 යි දශම 6ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. 2020 වර්ෂයේදී එය ඩොලර් බිලියන 16 යි දශම 1ක් සහ 2019 වර්ෂයේදී එය ඩොලර් බිලියන 19 යි දශම 9ක් ව තිබු බවයි.
(Neth)