Tuesday, February 17, 2026
Follow Us
 විදුලි විසන්ධිය ගැන අලුත්ම තීරණය

විදුලි බල මණ්ඩලයෙන් දැනුම් දීමක්

අද (08) දිනයේ දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකිරීමට අපේක්ෂා නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දැවි තෙල් ලබා දීමත් සමග විදුලි උත්පාදන කටයුතු සිදුකළ හැකි බැවින් විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

විදුලිබල මණ්ඩලය විසින් ගෙවීම් සිදුනොකිරීම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දැවි තෙල් ලබාදීම අත්හිටුවීමට පියවර ගැනීමත් සමග සපුගස්කන්ද මෙන්ම කුකුලේ ගඟ විදුලි බලාගාරවල විදුලි ජනන කටුයුතුවලට බාධා එල්ල වුණා.

මේ හේතුවෙන් ඊයේ (07) සහ පෙරේදා (06) දිනවලදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පස්වරු 05.30 සිට රාත්‍රී 09.30 දක්වා වූ කාලය තුළ පැයක කාලයක් විටින් විට විදුලිය අත්හිටුවනු ලැබුවා.

කෙසේවෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ රාත්‍රි කාලයේදී කොළඹ වරායේ පිහිටි පාවෙන විදුලි බලාගාරය සඳහා දැවිතෙල් මෙට්‍රික්ටොන් 2,500ක් සහ සපුගස්කන්ද විදුලි බලාගාරය සඳහා අද දිනයේදී මෙට්‍රික්ටොන් 2,500ක් ලබාදීමට එකඟතාවය පළකළ බව වාර්තා වන්නේ.

කොළඹ වරායේ පිහිටි පාවෙන විදුලි බලාගාරය මගින් මෙගාවොට් 60ක ධාරිතාවයක් උත්පාදනය කෙරෙන අතර සපුගස්කන්ද විදුලි බලාගාරයෙන් මෙගාවොට් 160 ක විදුලිය නිෂ්පාදනය කෙරෙනවා.

(Aruna)