Tuesday, February 17, 2026
Follow Us
විද්‍යාපීඨවලට සිසුන් නෑ

අධ්‍යාපන අමාත්‍යාංශය බරපතළ ගැටලුවක


ගුරු පුහුණුව සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ඇතුළත් වන සිසුන් විශාල වශයෙන් අඩු වීම නිසා එම පාඨමාලා ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය බරපතළ ගැටලුවකට මුහුණ දී සිටියි. ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යා පාඨමාලාව සඳහා සිසුන් විසිදෙනා බැගින් වාර්ෂිකව බඳවා ගැනෙන නමුත් මෙවර සුදුසුකම් ලබා සිටින්නේ එක් සිසුවකු පමණ ය.

එමෙන්ම ඉංග්‍රීසි මාධ්‍ය ගණිතය පාඨමාලාව වෙනුවෙන් සිසුන් හතළිස් පස් දෙනකු තෝරා ගැනීම සඳහා අයැදුම්පත් කැඳවූ නමුත් මෙවර සුදුසුකම් ලබා සිටින්නේ විසි නව දෙනකු පමණි.

නිල්වලා විද්‍යාපීඨයේ විද්‍යා පාඨමාලාව සඳහා 73 දෙනකු තෝරා ගැනෙන නමුත් මෙවර සුදුසුකම් ලබා සිටින සිසුන් ගණන අටකි. සිසුන් 65 දෙනෙක් ගණිත පාඨමාලාව සඳහා තෝරා ගැනෙන නමුත් මෙවර සිටින්නේ දොළොස් දෙනකු පමණී.

මීට අමතරව පුලිතිසිපුර කෘෂිකර්ම පාඨමාලාව සඳහා සිසුන් හැටදෙනකු අවශ්‍ය වුවත් මෙවර සුදුසුකම් ලබා සිටින්නේ තිස්හය දෙනෙක් පමණක් වන අතර සියනෑ පීඨයේ ඉංග්‍රීසි පාඨමාලාවට සිසුන් හතළිස් පස් දෙනකු තෝරා ගැනෙන නමුත් මෙවර සුදුසුකම් ලබා ඇත්තේ විසි නව දෙනකු පමණි.

සම්මුඛ පරීක්ෂණ වාර හයක් අවසන් කිරීමෙන් පසුවත් මෙම පාඨමාලාවලට සිසුන් සම්පූර්ණ කර ගැනීමට නොහැකි වී ඇතැයි එම පීඨ ආරංචි මාර්ග කීවේය.

මෙවර ඇතුළත් කෙරෙන්නේ 2018 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් වීම මෙම තත්ත්වයට හේතු වී තිබේ. එම වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාලවල ප්‍රවේශයට සුදුසුකම් නොලැබූ සිසුන් වෙනත් විවිධ පාඨමාලාවට යොමු වීම නිසා විද්‍යාපීඨවලට පැමිණීම අඩු වී තිබෙන බවත් මෙම අඩුවීමේ බරපතළ තත්ත්වය දැනෙන්නේ තව වසර තුනකින් බවත් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.

(Aruna)