Tuesday, February 17, 2026
Follow Us
රට සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් ඇති බව ආරක්ෂක ලේකම් කියයි

ඉදිරි අවුරුදු 3 ගිය අවුරුදු 2කට වඩා ඵලදායි ලෙස වැඩ කරමු


කොවිඩ් වසංගතය මධ්‍යයේ මහජන අපේක්ෂාවන් සපුරාලීම සඳහා අඛණ්ඩ සේවාවක් සැපයීමට ආරක්‍ෂක අමාත්‍යාංශය සමත් වී ඇති බවත් මෙම අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ යුතුකම් සහ වගකීම් කැපවීමෙන් ඉටුකිරීම සඳහා සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශවලට ප්‍රමුඛත්වය දෙමින් වැඩ කටයුතු ඉදිරියට කරගෙන ගෙන යා යුතු බවත්, අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ උත්සාහය අගයමින් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පසුගිය 03 වනදා පැවසීය.

සම්ප්‍රදායානුකූලව ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් 2022 වසර උදාව වෙනුවෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේ සංවිධානය කර තිබූ උත්සවයේදී ජෙනරල් ගුණරත්න මහතා මෙම අදහස් පළ කළේය.

ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පසුගිය වසර දෙක තුල දරන ලද උත්සාහයන්ටත් වඩා ඉතාමත් ඵලදායී ආකාරයෙන් වැඩකටයුතු කිරිමේ නව බලාපොරොත්තු ඇතිව අපි මේ වසර ආරම්භ කරන බව ඔහු සඳහන් කළේය.

රට සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙන අතරතුර, එන්නත්කරණයේ තුන්වන මාත්‍රාව ලබාදිමේ වැඩසටහන ක්‍රියාත්මක කරමින් වසංගතය පාලනය සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ උත්සාහය පිළිබඳව වත්මන් ගෝලීය ආර්ථික හා සමාජ අර්බුදකාරී තත්ත්වය උපුටා දක්වමින් ඔහු තවදුරටත් කියා සිටියේය.

විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ක්‍රියාන්විතයේදී ආබාධිත වු සාමාජිකයින්ට සහ මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන්ට වැටුප් සහ අනෙකුත් මුල්‍ය ප්‍රතිලාභ ලබාදීම සහ අවිවාහක රණවිරුවන්ගේ දෙමාපියන්ට මාසික දීමනාව ලබාදීම හරහා සුබසාධනය ඉහළ නැංවීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින් හිටපු ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයෙකු ලෙසත් ආරක්‍ෂක ලේකම්වරයා ලෙසත් මෙය යථාර්ථයක් කිරීමට හැකිවීම පිළිබඳව සතුට පළ කළේය.

මහා සංඝරත්නය, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි චිත්‍රානි ගුණරත්න, අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්, අමාත්‍යාංශය යටතේ ඇති ආයතන ප්‍රධානීන් සහ අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(Aruna)