භූමිතෙල් හිඟ වුණොත් කරන දේ අමාත්‍යංශය කියයි
ඉදිරියේදී භූමිතෙල් හිඟයක් රටේ ඇති වුවහොත් භූමිතෙල් වෙනුවට ගුවන් යානා ඉන්ධන යොදාගැනීමට බලශක්ති අමාත්‍යාංශය කටයුතු කරන බව එම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා කියා සිටියාය.
මෙම ඉන්ධන යොදාගැනීම සම්බන්ධව කිසිදු බියක් ඇති නොකර ගත යුතු බවත් සියයට සියයක් විද්‍යාත්මකව එම ඉන්ධන යොදා ගැනීම තහවුරු වී ඇති බවද ලේකම්වරිය ‘අරුණට’ පැවසුවාය.
මින් පෙරද අවස්ථාවන් කිහිපයකදී භූමිතෙල් වෙනුවට ගුවන් යානා ඉන්ධන යොදාගෙන ඇති බැවින් මෙය අලුතෙන් අත්හදා බැලීමක් නොවන බව ඇය ප්‍රකාශ කළාය. මෙම ඉන්ධන වර්ග දෙකෙහි ඇති ප්‍රධානතම වෙනස වර්ණය පමණක් බවත් ගුවන් යානා තෙල්වලට භුමිතෙල්වල වර්ණය ගැන්වීමක් සිදුකරන බවත් ඇය පවසා සිටියාය.
”ලෝක වෙළෙඳපොළේ කෙරෝසින් එහෙමත් නැත්නම් භූමිතෙල් කියලා ඉන්ධනයක් නැහැ තියෙන්නේ ගුවන් යානා ඉන්ධන කියන ජෙට් ඔයිල් එක. සියයට සියයක් අපිට තහවුරු කරන්න පුළුවන් භූමිතෙල් හිඟයක් ඇති වෙන්නේ නැහැ කියලා. නමුත් හදිසි අවශ්‍යතාවක් මතු වුණොත් අපි ළඟ දැනටමත් ජෙට් ඔයිල් තියනවා. අපි ඒක භූමිතෙල් විදියට දෙනවා. කිසිදු අහිතකර තත්ත්වයක් නැහැ ඒ සම්බන්ධයෙන්.’‘ යැයි මෙහිදී ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා අවධාරණය කළාය.
ඇය වැඩිදුරටත් පවසා සිටියේ භූමිතෙල් මේ වන විට වෙළෙඳපොළේ ලබාදෙන්නේ සහනාධාර ක්‍රමයකට බැවින් ඒ වෙනුවට යොදාගන්නා ගුවන් යානා ඉන්ධන මෙම ක්‍රමයටම ලබාදීමට කටයුතු කරන බවය.
(Aruna)