අරක්කු ස්ටිකරය අද සිට ඇලවෙයි
මෙරට මත්පැන් නිෂ්පාදනාගාරවල දී නිපදවනු ලබන සියලුම මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකර් ඇලවීම අද (03 වැනිදා) සිට ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
මෙම ස්ටිකර් ඇලවීමේ කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ ඉන්දියාවේ මැඩ්රාස් සෙකියුරිටි ප්‍රින්ටර්ස් (MSP) ආයතනයටය. කොන්ත්‍රාත්තුවට අනුව ආරක්ෂිත ස්ටිකර් 1000 ක් වෙනුවෙන් එක්සත් ජනපද ඩොලර් 5.99 ක මුදලක් MSP ආයතනය වෙත ගෙවිය යුතුව ඇත. ඒ අනුව එක් ආරක්ෂිත ස්ටිකරයක් වෙනුවෙන් වැයවන්නේ රුපියල් 1.21 ක් බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වන සුරාබදු බලපත්‍ර ලත් විවිධ මත්පැන් නිෂ්පාදන ආයතන 70ක් මෙන්ම මත්පැන් ආනයන කරනු ලබන ආයතන 18ක් සම්බන්ධීකරණය කරමින් ආරක්ෂිත මුද්‍රා යෙදීම සිදු කෙරෙන බවත්, වර්ග දෙකකින් යුක්ත වන මෙම ආරක්ෂිත මුද්‍රාවන්, ආරක්ෂිත ස්ටිකර් (Foolproof Stickers) හා ආරක්ෂිත ඩිජිටල් මුද්‍රණයන් (Digital Printing) ලෙස හඳුන්වාදෙන බවත්, ඒ ඒ මත්පැන් නිෂ්පාදන ආයතනයේ පවතින තාක්ෂණය හා නිෂ්පාදන ධාරිතාව අනුව කවර ආරක්ෂිත මුද්‍රාවක් යොදාගන්නේ ද යන්න තීරණය කෙරෙන බවත් සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
මේ පිළිබඳව ‘අරුණ’ ට අදහස් පළකළ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි සඳහන් කරන ලද්දේ 2022 අප්‍රේල් 01 වැනිදා සිට පාරිභෝගිකයන්ට සිය ස්මාර්ට් ජංගම දුරකථනය වෙත ලබාදෙන යෙදුමක් (APP) ඔස්සේ සෑම මත්පැන් බෝතලයකම ප්‍රමිතිය පරීක්ෂා කරගත හැකි බවයි.
කෙසේ වෙතත් කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇති ඉන්දීය සමාගම අසාදුගත සමාගමක් බව අභියාචනාධිකරණයේ විභාග වන නඩුවකදී සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ පැවැති සාකච්ඡාවකදී අනාවරණය වී තිබේ. යහපාලන රජය සමයේ මුදල් අමාත්‍යවරයා ලෙස සිටි රවි කරුණානායක මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කළද ක්‍රියාත්මක කිරීමට නොහැකි විය.
ඉන්දීය සමාගමට ලබා නොදී රජයේ මුද්‍රණාලයෙන් මෙම ස්ටිකරය මුද්‍රණය සිදුකරන ලෙස මත්පැන් නිෂ්පාදන සමාගම් මුදල් අමාත්‍යාංශයටද දැනුම් දී තිබේ. මෙම ව්‍යාපෘතියට එරෙහිව නඩුවක්ද අභියාචනාධිකරණයේ විභාග වෙයි.
(Aruna)