Tuesday, February 17, 2026
Follow Us
දේශීයව නිෂ්පාදනය කරන මත්පැන්වලට අද සිට නව ආරක්ෂිත ලේබලයක්

දේශීයව නිෂ්පාදනය කරන මත්පැන්වලට අද සිට නව ආරක්ෂිත ලේබලයක් හඳුන්වා දෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එහි මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කළේ එම මත්පැන් බෝතල් සහ කෑන් මත ස්ටිකරය අලවන බවයි.

රාජ්‍ය භාණ්ඩාගාරයට අයවිය යුතු බදු මුදල් වැඩි කර ගැනීම මෙහි අරමුණ බව ද ඔහු සඳහන් කළා. නව ස්ටිකර් සහිත මත්පැන් වෙළෙඳපොළට සැපයීමට පෙර වෙළෙඳපොළේ ඇති ස්ටිකරය රහිත මත්පැන් තොග අවසන් කිරීමට අප්‍රේල් මස 01 වැනිදා දක්වා මාස තුනක කාලයක් ලබාදෙන බවයි සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කළේ.

ඉන් අනතුරුව වෙළඳපොලේ අලෙවි වන සියලුම මත්පැන් බෝතල් සහ කෑන්වල ආරක්ෂිත ස්ටිකරය තිබීම අනිවාර්ය වනු ඇති. නීති විරෝධී මත්පැන් වර්ග සහ නීති විරෝධී ලෙස ආනයනය කරනු ලබන මත්පැන් වර්ග දේශීය වෙළඳපොළට ඇතුළත් වීම වැළැක්වීම සඳහා මෙම ආරක්ෂිත ස්ටිකරය හඳුන්වා දෙන බව ද සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)