Tuesday, February 17, 2026
Follow Us
වැඩිවන බස් ගාස්තු අද ප්‍රකාශයට

ඉන්ධන මිල වැඩිකීරීමත් සමඟ වැඩි කරන බස් ගාස්තු අද දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු වැඩි විය යුතු අගයන් පිළිබඳ විශේෂ වාර්තාවක් ජාතික ගමනාගමන කොමිශන් සභාව විසින් අද දිනයේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා වෙත භාරදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

බස් ගාස්තු සංශෝධනයේදී රුපියල් 14 ක් වන අවම බස් ගාස්තුව රුපියල් 16 ක් දක්වා ඉහළ යනු ඇති බව නෙත් නිවුස් ඉකුත්දා පළමු වරට අනාවරණය කළා. සෙසු ගාස්තු සියයට 7 යි දශම 5 ත්, සියයට 10 ත් අතර අගයකින් ඉහළ යනු ඇති බවටයි වාර්තා වන්නේ. කෙසේවෙතත් බස් ගාස්තු ඉහළ නැංවීම සිදුවන්නේ ඊට අදාළ මිල සූත්‍රයට අනුව බවයි නෙත් නිවුස් කළ විමසීමකදී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසුවේ.

කෙසේවෙතත් බස් සංගම් ඉල්ලා තිබුණේ බස් ගාස්තුව සියයට 15 ක අගයකින් ඉහළ නැංවිය යුතු බවටයි. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් යළිත් බස් සංගම්වලින් විමසීමක් කළා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ අවම ගාස්තුව රුපියල් 17 ක් විය යුතු බවයි.

සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පැවසුවේ අවම බස් ගාස්තුව රුපියල් 20 ක් දක්වා වැඩිවිය යුතු බවයි.

මේ අතර බස් රථ සඳහා පෙරගෙවුම් කාඩ්පත් හඳුන්වාදීම එළඹෙන සතියේ සිට ආරම්භ කිරීමට නියමිතයි. එහිදී කොන්දොස්තරවරයෙකු බස් රථයේ ගමන් නොකරන අතර අදාළ බස් රථවල ආසන ගණනට පමණක් මගීන් රැගෙනයාම සිදුකෙරෙනවා. බස් රථයේ පිටුපස දොරටුව වසා තැබෙනු ඇති. බස් රථයේ ඉදිරිපස දොරටුව අසල පෙර ගෙවුම් කාඩ්පත්වලින් ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය යන්ත්‍ර සවි කිරීමට නියමිතයි.

(Neth)