Tuesday, February 17, 2026
Follow Us
මෙරට සියලු සැහැල්ලු ගුවන් යානා විශේෂ පරීක්‍ෂාවකට

මෙරට පෞද්ගලික ගුවන් සේවා සපයන ආයතන සතු සියළු සැහැල්ලු ගුවන් යානා විශේෂ පරීක්‍ෂාවකට ලක් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, දින කිහිපයක් තුළ සැහැල්ලු ගුවන් යානා දෙකක් හදිසියේ ගොඩබැස්වීමේ සිදුවීම් සැලකිල්ලට ගනිමින්.

පළමුව පයාගල වෙරළ තීරයට එක් සැහැල්ලු ගුවන් යානයක් හදිසියේ ගොඩබැස්වූ අතර තවත් ගුවන් යානයක් ඊයේ හදිසියේ ගොඩබැස්වූයේ කිඹුලාපිටිය වෙල්යායකටයි. මෙම අනතුරු දෙකටම මුහුණපා ඇත්තේ එකම ආයතනයක ගුවන් යානා දෙකක්.

මෙම සිදුවීම් හා සැහැල්ලු ගුවන් යානා පියාසර කිරීමේ ඉදිරි මෙහෙයුම් පිළිබද නෙත් නිවුස් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී වී චානකගෙන් විමසීමක් කළා. ඔහු කියාසිටියේ මෙරට පෞද්ගලික ගුවන් සේවා සපයන ආයතන සම්බන්ධයෙන් යළි විමර්ශනයක් සිදුකරන බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ ගුවන් යානාවල ප්‍රමිතිය නිසි පරිදි පවත්වා නොගන්නා ආයතන පිළිබද අවශ්‍ය පියවර ගන්නා බවයි.

මෑතකදී සිදුවූ සිදුවීම් දෙකම හුදකලා සිදුවීම් බැවින් ඒ සම්බන්ධයෙන් වන නිවැරදි තොරතුරු සංචාරකයින්ට ලබාදෙන බවයි රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක පැවසුවේ.

මෙවැනි සිදුවීම් හරහා මෙරට සංචාරක කර්මාන්තයට බලපෑමක්වීමට ඉඩ නොතබන බවද ඔහු කියාසිටියා.

කටාන කිඹුලාපිටිය ප්‍රදේශයේ වෙල්යායකට ඊයේ හදිසියේ ගොඩබැස්වූ ගුවන් යානයේ සිටි සිව් දෙනෙකු තුවාල ලැබුවා. ඒ අතරට එහි ගමන් ගත් විදේශිකයින් දෙදෙනෙකු ද අයත්. මෙම අනතුරට මුහුණපෑ සකුරායි ගුවන් සමාගමේ සියලු ගුවන් සේවා කටයුතු වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටු වීමටයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගත්තේ.

(Neth)