Tuesday, February 17, 2026
Follow Us
මහ කන්නයේ ගොවි බිම්වලින් සියයට 95 ක් වගාකර අවසන් !

මහ කන්නයේ වගා කළයුතු කුඹුරු ඉඩම්වලින් 95% ක් පමණ මේ වනවිට වගාකර අවසන් බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. කොළඹදී අද පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී කෘෂිකර්ම නිළධාරීන් මේ බව තහවුරු කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාගේ සහ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී තහවුරු කරගත් වාර්තාවලට අනුව පසුගිය මහ කන්නයට සාපේක්ෂව 70 - 75% අතර වී අස්වැන්නක් බලාපොරොත්තු විය හැකි බවද අමාත්‍යංශය පවසනවා.

මෙම සාකච්ඡාවේදී හෙලිදරව් වී තිබෙන්නේ දේශීය පොහොර නිෂ්පාදකයන් පොහොර සැපයීමේදී එකඟ වී ඇති ඇතැම් කරුණු සැපයුම්කරුවන් විසින් උල්ලංඝනය කර ඇති බවයි. සැපයුම්කරුවන් සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම් අනුව ඔවුන් කටයුතු කර ඇතිද යන්න පිළිබඳව සොයා බලා දෙසැම්බර් 31 වැනිදාට පෙර වාර්තාවක් ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා සිය ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

මහ කන්නයේදී පොහොර ලබාදීම සම්බන්ධයෙන් ඇති වූ ගැටලු නිරාකරණය කර ගනිමින් එළඹෙන යල කන්නයේ වගා කටයුතු කාබනික පොහොර භාවිතා කරමින් සිදුකළ යුතු බව අමාත්‍යවරයා පවසා තිබෙනවා. ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ ආහාර හිගයක් ඇතිවීමේ කිසිදු අවදානමක් නොමැති බවයි.

(LNW)