Tuesday, February 17, 2026
Follow Us
දේශීය ටයිල් හා මැටි ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ ගැටළු ගැන සාකච්ඡාවක්

දේශීයව මැටි උළු, මැටි ගඩොල්, මැටි ටයිල් හා මැටි ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට පිළියම් ලබාදීමට ශ්‍රී ලංකා සෙරමික් හා ග්ලාස් කවුන්සිලයේ සාමාජිකයින් සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර විශේෂ සාකච්ජාවක් (20 දින ) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මැටි ආශ්‍රිත කර්මාන්තයේ නියුතු දේශීය කර්මාන්තකරුවන් මේ වනවිට මුහුණපා ඇති ගැටළු පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කරන ලදි. මැටි සපයා ගැනීමේදී හා ප්‍රවාහනයේදී මුහුණ පා ඇති බලපත්‍ර ගැටළු, නිෂ්පාදන ධාරිතාව වැඩිකරගැනීමට ඇති බාධා සහ පොදුවේ එම කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් ගතයුතු පියවර පිළිබද මෙහිදී වැඩිදුරටත් සාකච්ජා විය. කර්මාන්තකරුවන්ගේ ගැටළු විසදීමට අවශ්‍ය සහය ලබාදීමේ අරමුණින් අදාළ ආයතන සමඟ ඉදිරියේදී පුළුල් සාකච්ජාවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා කියා සිටියේය.

මෙම අවස්ථාවට වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, ලංකා පිඟන් සංස්ථාවේ සභාපති ජූඩ් ප්‍රනාන්දු සහ මැටි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයේ කර්මාන්තකරුවන් පිරිසක් එක්ව සිටියහ.

(news.lk)