Tuesday, February 17, 2026
Follow Us
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට තීරණයක් ගෙන නෑ

මූල්‍ය අර්බුදයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට හෝ එම ආයතනයෙන් විදෙස් විනිමය ණයක් ලබාගැනීමට කිසිඳු තීරණයක් ගෙන නොමැති බවත්, මේ සම්බන්ධයෙන් කැබිනට් මන්ඩලයේ එකඟතාවක් ඇතිවී නොමැති බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ( දෙසැම්බර් 21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පවතින මූල්‍ය අර්බුදයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණයක් ලබාගැනීමට ආණ්ඩුවේ තීරණයක් ඇත්ද යන්න සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙන් ඒ මහතා මේ බව පැවසීය.

ඉන්දියාවට හා චීනයට කොළඹ වරායෙහි පර්යන්ත බදු දීමට තීරණයක් ගෙන ඇති බවට පැතිර යන රාවය සත්‍යයක් දැයි මාධ්‍ය විමසූ විට අමාත්‍යවරයා පැවසුවේ එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන්ද මාධ්‍ය විමසූ අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, මෙරට ආර්ථිකය ඉන්ධන සමඟ දහනය වන බවත්, ඉන්ධන වෙනුවෙන් වාර්ෂිකව ඩොලර් මිලියන 350ක් 400ක් අතර ප්‍රමාණයක් වැයවන බවත්, ඉන්ධන හේතුවෙන් මෙරට විදේශ විනිමය අධික ලෙස වැය වීම නැවැත්වීමට ඉන්ධන මිල වැඩිකිරීමට කටයුතු කළ බවත්ය.

රටේ ආර්ථික ගැටලුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, දිගු කාලීනව පැවති ආර්ථික ප්‍රතිපත්තිමය ගැටලුවක් හේතුවෙන් මෙන්ම ගෝලීය වසංගතය හේතුවෙන් මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයක් ඇතිවිය හැකි බවත්, එය වළක්වා ගැනීමට දැඩි මූල්‍ය විනයක් පවත්වා ගතයුතු බවත්ය.

අප රටේ ඇතිවී තිබෙන අර්බුදයෙන් ගොඩඒමට නම් පක්ෂ විපක්ෂ බේදය නොසළකා කටයුතු කළයුතු බවද අමාත්‍යවරයා පැවසීය. ඉන්ධන මිල වැඩිවීම සම්බන්ධයෙන් ඉන්ධන මිල සූත්‍රයක් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන්ද මාධ්‍ය විමසු විට අමාත්‍යවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් විෂයය භාර අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් කළයුතු දේ පිළිබඳ සාකච්ඡා කරමින් පවතින බවත්ය.

වත්මන් ආණ්ඩුවේ මූල්‍ය ප්‍රතිපත්තිය කුමක්ද යන්න සම්බන්ධයෙන්ද මාධ්‍ය විමසූ අතර ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ, පවතින ගෝලීය වසංගත තත්වය හේතුවෙන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවත්, වාර්ෂිකව විදේශ ආදායම් ලැබීම්වලින් ඩොලර් බිලියන 14කට වඩා අධිකව පසුගිය දෙවසර තුළ අහිමි වූ බවත්, එහෙත් ගෙවීමට ඇති
ණය මුදල ඩොලර් බිලියන 42ක් බවත්ය.

කෙසේ වෙතත් පවතින අර්බුදකාරී තත්වය යටතේ වුවද ණය වාරිකය ගෙවීම රජය විසින් පැහැරහැර නොමැති බවත්, 2022 වසර වන විට පවතින අර්බුදකාරී තත්වයෙන් ගොඩඒමට හැකියාවක් ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

(news.lk)