අනිවාර්යය නිවාඩු යවා සිටින වන්ද්‍යකරණ සැත්කම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් යළී සේවයේ පිහිටුවීමට තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව පවසනවා. එම කොමිෂන් සභාවේ ලේකම් එම් ඒ බී දයා සෙනරත් නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කළා.
කුරුණෑගල රෝහලේ සේවය කළ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් වෙත එල්ල වූ චෝදනා හේතුවෙන් ඔහු 2019 මැයි මස 24 වනදා සිට අනිවාර්යය නිවාඩු යැවීම සුදුසු බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිර්දේශ කර තිබුණා. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සේවා කමිටුවට ඒ සඳහා අනුමැතිය හිමිවුණේ 2019 වර්ෂයේ ජූනි 19 වනදායි.
ඒ අනුව අනිවාර්යය නිවාඩු යවා සිටින වෛද්‍ය සාෆි ෂිහාබ්දීන්ට හිග වැටුප් ගෙවීම පිළිබඳ හෝ නැවත සේවයේ පිහිටුවීම පිළිබඳ උපදෙස් ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යංශය හෝ වෙනත් කිසිඳු ආයතනයක් මේ දක්වා සිය කොමිෂන් සභාව හෝ එහි සෞඛ්‍ය සේවා කමිටුව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර නොමැති බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ. එමෙන්ම එවැනි උපදේශයක් රාජ්‍යසේවා කොමිෂන් සභාව හෝ එහි සෞඛ්‍ය සේවා කමිටුව විසින් හෝ නිකුත් කර නොමැති බව ද එම කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
එසේවුවද, අනිවාර්යය නිවාඩු යවා සිටින නිලධාරියෙකු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය ආයතන සංග්‍රහයේ පැහැදිළිව දක්වා ඇති බැවින් ඒ අනුව කටයුතු කිරීමට, අදාළ බලධාරීන්ට හැකියාව පවතින බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ එම වෛද්‍ය සාෆි ෂිහබ්දීන්ට හිමි වැටුප් ගෙවන ලෙස කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂවරයා වෙත උපදෙස් ලබාදී ඇති බවයි. එහෙත් කිසිඳු අවස්ථාවක ඔහු නැවත සේවයේ පිහිටුවීමට උපදෙස් ලබාදීමක් සිදුකර නොමැති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.
(Neth)