Tuesday, February 17, 2026
Follow Us
ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් වෙත නියෝගයක්

ඉදිරියේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්නායකයන්ට අනුකූල ගෘහස්ථ ගෑස් සිලින්ඩර් පමණක් වෙළඳපොලට නිකුත් කරන්නැයි අභියාචනාධිකරණය ලිට්‍රෝ සහ ලාෆ් සමාගම් දෙකට නියෝග කර තිබෙනවා.

ඒ, සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු විසින් ඉදිරිපත් කළ පෙත්සම අද අදවැනි දිනටත් කැඳවූ අවස්ථාවේදීයි.

ගෑස් කාන්දුවීම් හේතුවෙන් ඇතිවූ පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කරන ලෙස ඉල්ලා එම පෙත්සම ගොණු කර තිබෙනවා. ප්‍රමිතීන්ට අනුකූල නොවන අයුරින් වෙළඳපොළට නිකුත් කර ඇති භාවිත නොකළ ගෑස් සිලින්ඩර් ආපසු කැඳවන ලෙසට ද අභියාචනාධිකරණය අදාළ සමාගම් වෙතට නියෝග කර තිබෙනවා.

මේ අතර වෙළද පොලේ පවතින ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල පීඩනය පරීක්ෂා කිරීම ද මේ වන විට ආරම්භ කර තිබෙනවා. මේ වන විටත් ගෑස් සිලින්ඩර් කිහිපයක පරීක්ෂාකීරීම් සිදු කර ඊට අදාළ මූලික වාර්තාවක් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන වෙත ලබාදුන් බවයි මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ.

එහි අධ්‍යක්ෂ සුජීව අකුරන්තිලක නෙත් නිවුස් කළ විමසීමකදී සඳහන් කළේ ඉදිරියේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අහඹු ලෙස ගෑස් සිලින්ඩර්වල පීඩනය පරීක්ෂා කරන බවයි.

ඊට අදාළ සම්පූර්ණ වාර්තාව ලබන සතියේදී වෙළඳ අමාත්‍යංශය වෙත බාරදීට කටයුතු කරන බවද මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සුජීව අකුරන්තිලක වැඩිදුරටත් සඳහන් කළා. සාමාන්‍යයෙන් ගෑස් සිලින්ඩරයක උපරිම පීඩනය බාර් 6ක් පැවතිය යුතු වනවා.

(Neth)