Wednesday, February 18, 2026
Follow Us
පැය භාගයක විදුලි කප්පාදුවක්

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයෙන් පණිවිඩයක්


නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ මේ වන විට අලුත්වැඩියා කරමින් පවතින පළවැනි ජනන යන්ත්‍රය හෙට [ 14 වැනිදා ] වන විට ජාතික විදුලි පද්ධතියට එක් කරගැනීමට හැකියාව ලැබෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පැවසුවේය.

බලාගාරයේ දෙවැනි ජනන යන්ත්‍රයේ බොයිලේරුවල ජල කාන්දු වීමක් සිදු වන බැවින් එම යන්ත්‍රය යථා තත්ත්වයට පත් කරගන්නා තුරු මේ වන විට පද්ධතියෙන් ඉවත් කර තිබෙන බව ඔහු ‘අරුණ ‘ කළ විමසුමක දී පවසා සිටියේය.

මේ හේතුවෙන් විදුලි ජනන ධාරිතාවය විදුලි ඉල්ලුමට ප්‍රමාණවත් නොවන බැවින් ඊයේ [ 12වැනිදා ] දිනයේ සිට පැය භාගයක් පමණ ඇතැම් ප්‍රදේශවලට විදුලි සැපයීම සීමා කිරීමට සිදු වන බව ඔහු කියා සිටියේය. ඒ අනුව සවස හයත් රාත්‍රී නවයයි තිහත් අතර පැය භාගයක කාලයක් විදුලිය විසන්ධි වීමක් සිදුවිය හැකිය. මේ වන විට බලාගාරය ක්‍රියාත්මක වන්නේ තෙවන ජනන යන්ත්‍රයෙන් පමණක් බවත් අනෙක් යන්ත්‍ර දෙකම ක්‍රියාවිරහිතව ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේය.
හෙතම පවසා සිටියේ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම යන්ත්‍ර දෙකම අක්‍රිය වීම සිදු වූ බවත් හැකි ඉක්මනින් එම යන්ත්‍ර අලුත්වැඩියා කටයුතු සිදුකර ගැනීමට කටයුතු කරන බවත්ය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ‘අරුණ’ට අදහස් දැක් වූ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සාමාජික ධම්මික විමලරත්න පැවැසුවේ නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රවල ඇතිවන කාර්මික දෝෂයන් යථා තත්වයට පත් කිරීමට කටයුතු කිරීම නිසා මෙම විදුලිය බිඳවැටීම සිදුවන බවය. තම සංගමයේ ඉංජිනේරුවන්ගේ මැදිහත්වීමෙන් ජාතික විදුලි පද්ධතිය නැවතත් සම්පූර්ණයෙන්ම යතා තත්වයට පත් කිරීමට කටයුතු කරන බව ඔහු පැවසුවේය.

(Aruna)