Wednesday, February 18, 2026
Follow Us
විදෙස් මුදල් සංචිත ගැන විමසන්න මහ බැංකු අධිපති සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් අද කැබිනට් මණ්ඩලයට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කැඳවා තිබෙනවා.

ඔවුන් දෙදෙනා කැබිනට් මණ්ඩලයට කැදවා ඇත්තේ රටේ විදේශ විනිමය සහ මුදල් සංචිතවල තත්වය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා බවයි දේශපාලන ආරංචි පැවසුවේ. 2022 අයවැය සම්මතවීමෙන් පසු පැවැත්වෙන පළමු කැබිනට් රැස්වීමද මෙය වනවා.

මේ අතර රට තුළ ඇතිව තිබෙන උග්‍ර ඩොලර් හිඟයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නේද නැද්ද යන්න අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී තීරණය කෙරෙනු ඇති බවද වාර්තා වනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ මත දෙකක් ඉදිරිපත්ව ඇති බවයි පැවසෙන්නේ.

ඩොලර් හිඟයට කඩිනම් විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගත යුතු බව ආණ්ඩුවේ පිරිසකගේ අදහස වී තිබෙනවා. ආණ්ඩුවේ ඇතැම් පිරිස් පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේදී විවිධ කොන්දේසිවලට යටත් වීමට සිදු වන බවයි.

මෙම කරුණු පිළිබද අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ඉකුත්දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණේ රටේ විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1,500ක් පමණ දක්වා අඩු වී ඇති බවයි.

ඉන් ඩොලර් වශයෙන් ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 1,100ක් පමණක් බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ. මේ, ඩොලර් අර්බුදය පිළිබඳ නෙත් නිවුස් වෙත කරුණු දැක්වූ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ.

මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරවයි. ඒ අනුව පාර්ලිමේන්තුවේ මීළඟ වාරය ආරම්භ වන්නේ ලබන ජනවාරි මස 18 වනදායි.

(Neth)