Wednesday, February 18, 2026
Follow Us
අප්‍රිකානු රටවලට පැනවූ සංචරණ තහනම ඉවත් කළ හේතු සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

අප්‍රිකානු කලාපයේ රටවල් 6 ක සිට පැමිණෙන පුද්ගලයින්ට මෙරටට ඇතුළුවීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමට තීරණය කළේ පවතින තත්ත්වයන් පිළිබඳ සලකා බලා ලෝක සෞඛ්‍ය සංවිධානයේද අදහස් සැලකිල්ලට ගෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ දකුණු අප්‍රිකාව, නැමීබියාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, ලෙසතෝ සහ ස්වාසිලන්තය යන රටවලට ඉකුත් 27 වනදා සිට දින 17 ක කාලයක් එම සංචාරක තහනම පනවා තිබුණා.

කෙසේවෙතත් මේ වන විට දකුණු අප්‍රිකාණු කලාපයට වඩා යුරෝපා රටවල්වල එම වෛරසය පැතිර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. ලොව පුරා රටවල් 49කින් පමණ ඕමික්‍රෝන් ආසාදිතයින් වාර්තා වි ඇති බැවින් දකුණු අප්‍රිකානු කලාපයේ රටවල්වලට පමණක් සංචරණ සීමා පැනවීම ප්‍රායෝගික නොවන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීමෙන් ඕමික්‍රොන් විකෘත්ති ප්‍රභේදයට එරෙහිව ඵලදායී ආරක්ෂාවක් ලබා ගත හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයද ප්‍රකාශ කර තිබෙනවා. ඕමික්‍රොන් ප්‍රභේදය හදුනා ගැනීමත් සමග ලොව රටවල් රැසක් දකුණු අප්‍රිකානු රටවල්වලට සංචරණ සීමා පැනවුවද මේ වන විට එම රටවල්ද අදාල සංචරණ සීමා ඉවත් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

(Neth)