බූස්ටර් එන්නත ගැන ජනපති කියයි
බූස්ටර් එන්නත ඉදිරි සතිදෙක තුළ ලබාදී අවසන් කරන්නැයි ජනාධිපතිවරයා විසින් අදාළ අංශවලට උපදෙස් දී ඇත.
ඒ අනුව එළඹෙන උත්සව සමයේදී කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා අධි මාත්‍රා එන්නත හෙවත් බූස්ටර් එන්නත ලබාදීමට අපේක්ෂා කෙරේ.
කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
දෙවන මාත්‍රාව ද ලබාගෙන මාස 03ක් සම්පූර්ණ කළ සියලුදෙනා අධි මාත්‍රාව ලබාගැනීමට සුදුසුකම් සපුරන බවද මෙහිදී අවධාරණය කෙරිණි.
ඒ අනුව එන්නත ලබාදෙන ඕනෑම ස්ථානයකින් හෙට (11) සිට දිනපතා අධි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ගැනීමට අවස්ථාව සැලසේ.
සිදුකළ නිරීක්ෂණයන්ට අනුව මේ දිනවල වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගෙන් ඉහළ ප්‍රතිශතය එන්නත නොගත් අය වන අතර, ඉන් බහුතරය තරුණ පිරිස බව සෞඛ්‍ය අංශ නිලධාරීන් පෙන්වා දී තිබේ.
කොවිඩ් ආසාදිතව අසාධ්‍යවීම සහ මරණ සංඛ්‍යාව අවම කරගැනීමට එන්නත ලබාගැනීම අනිවාර්යයෙන් සිදුවිය යුතු බවද මෙහිදී අවධාරණය විය.
මේ පිළිබඳ තරුණ පිරිස් දැනුවත් කර, කඩිනමින් එන්නත ලබාදීමට පියවර ගන්නැයි ද ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබීය.
(Aruna)