Wednesday, February 18, 2026
Follow Us
රාජා කොල්ලුරේගෙන් පුරප්පාඩු වූ ආණ්ඩුකාර ධුරය රෝහිත බෝගොල්ලාගමට

රාජා කොල්ලුරේ මහතාගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ වයඹ පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා හිටපු අමාත්‍යවරයෙකු සහ හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ රෝහිත බෝගොල්ලාගම මහතාව පත්කිරීමට යෝජනා වී ඇති බව වාර්තා වේ.

පසුගිය රජය සමයේ බෝගොල්ලාගම මහතා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කළ අතර වත්මන් රජය යටතේ ද එම තනතුර තමන්ට ලැබෙනු ඇතැයි ඒ මහතා බලාපොරොත්තුවෙන් සිටිය ද අමාත්‍ය විමල් වීරවංශ මහතා මැදිහත්ව එම තනතුර සඳහා තම අනුගාමිකාවක් වන අනුරාධා යහම්පත් මහත්මිය පත් කරගන්නා ලදී.

ඉන් පසුව බෝගොල්ලාගම රාජ්‍යතාන්ත්‍රික සේවයෙහි තනතුරක් බලාපොරොත්තුවෙන් සිටිය ද එයත් සාර්ථක වූයේ නැත.

ඒ අනුව දැනට පුරප්පාඩු වී ඇති වයඹ පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා බෝගොල්ලාගම මහතාව පත්කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කර ඇති බව ආරංචිමාර්ග සඳහන් කළේය. එසේම බොහෝදුරට අග්‍රාමාත්‍යවරයාගේ කැමැත්ත අනුව මෙම පත්වීම බෝගොල්ලාගම මහතාට ලැබෙනු ඇති බවයි ඉහළ පෙළේ දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් පවසන්නේ.

(LNW)