Wednesday, February 18, 2026
Follow Us
මුද්‍රාව කැඩූ ගෑස් සිලින්ඩරවලටත් සහනයක් දෙන්න පාරිභෝගික අධිකාරියේ අවධානය

පොලිතීන් ආවරණ මුද්‍රාව නොසලකා හැර නිවෙස්වල සහ වෙළඳපොලේ ඇති සියලුම ගෑස් සිලින්ඩර් ආපසු ලබා ගැනීමට අදාළ සමාගම් වෙත පාරිභෝගික අධිකාරිය උපදෙස් ලබාදිය යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසනවා. එහි සභාපති රංජිත් විතානගේ පැවසුවේ ඒ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන්ද සිය සංවිධානය ඉල්ලීමක් කළ බවයි.

පසුගිය දෙසැම්බර් 4 වන දිනට පෙර නිවෙස් සහ වෙළදසැල් වෙත බෙදා හරින ලද ගෘහස්ථ ගෑස් සිලින්ඩර් යළි ලබාගන්නා ලෙසට පාරිභෝගික සේවා අධිකාරිය, ඊයේ දිනයේදී ලිට්‍රෝ සමාගමට උපදෙස් ලබාදුන්නා. කෙසේවෙතත් එලෙස ලබාගත යුත්තේ භාවිත නොකළ, පොලිතීන් ආවරණ මුද්‍රාව සහිත ගෑස් සිලින්ඩර පමණක් බවයි එම අධිකාරිය ලිට්‍රෝ සමාගමට දැනුම්දී තිබුණේ. මෙම තත්ත්වය හේතුවෙන් පාරිභෝගිකයින් විශාල පිරිසක් අවධානමට හා අසාධාරණයට ලක්වන බවයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගෙන්ද කරුණු විමසුවා. ඔහු කියා සිටියේ පොලිතීන් ආවරණ මුද්‍රාව ඉවත් කළ ගෑස් සිලින්ඩර් සම්බන්ධයෙන් සහනයක් ලබාදීමට මීලග අදියරේදී සලකා බලන බවයි.

(Neth)