මෙරට කාබනික පොහොර නිෂ්පාදන කටයුතු සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ පූර්ණ දායකත්වය ලබා ගැනීමට තීරණය කර තිබෙනවා.
කාබනික පොහොර නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ නෙත් නිවුස් වෙත කියා සිටියේ කාබනික පොහොර බෙදා හැරීමේ කටයුතු සඳහා ද යුධ හමුදාවේ දායකත්වය ලබාගන්නා බවයි.
මෙම කටුයතු අධීක්ෂණය සඳහා විශේෂ මෙහෙයුම් මැදිරියක් ද ස්ථාපිත කිරීමට නියමිතයි. මේ වන විටත් ඒ සම්බන්ධයෙන් අවසන් වටයේ සාකච්ඡා පැවැත්වෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. මෙම මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කෙරෙන්නේ කෘෂිකර්ම අමාත්‍යංශයේයි.
මේ අතර ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ. එච්. එම්. එල්. අබේරත්න සඳහන් කළේ කාබනික ඝන පොහොර නිෂ්පාදනය කර ගැනීම සඳහා ගොවීන් අට ලක්‍ෂ 5,601 කට රුපියල් මිලියන 4,500 ක් මේ වන විටත් රජයෙන් ලබා දී ඇති බවයි. කුඹුරු හෙක්ටයාර් හය ලක්‍ෂ 47,681 ක් වෙනුවෙන් මෙම මුදල් ප්‍රදානය කර ඇති බවද කොමසාරිස්වරයා පැවසුවා.
දිවයින පුරා ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය මධ්‍යස්ථාන තුළද කාබනික ඝන පොහොර මෙටි්‍රක් ටොන් 7,000 ක් නිෂ්පාදනය කර ඇති බවයි ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ එච් එම් එල් අබේරත්න වැඩිදුරටත් සඳහන් කළේ.
ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ පැවසුවේ මෙවර මහ කන්නයේ කාබනික ඝන පොහොර අවශ්‍යතාව මෙටි්‍රක් ටොන් හාර ලක්‍ෂ 16,176 ක් බවයි.
එසේ වුවත් සැපයිය හැකිව ඇති ප්‍රමාණය මෙටි්‍රක් ටොන් තුන් ලක්‍ෂ 59,708 ක් බවද ප්‍රකාශ කෙරුණා. කාබනික දියර පොහොර ලීටර් හැත්තෑ හත් ලක්‍ෂ 25,099 ක් මෙවර මහ කන්නය සඳහා ගොවීන්ට ලබා දීමට පියවර ගෙන ඇති බවද පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ පැවසුවා.
මේ අතර කාබනික, කාබනික නොවන සහ පොස්පරස් පොහොර ආනයනය කිරීමට යළි අවසර ලබාදී තිබෙනවා. එහෙත් ග්ලයිෆෝසේට් ආනයනය තවදුරටත් තහනම්.
(Neth)