Wednesday, February 18, 2026
Follow Us
දින 22 කට පසු සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද සිට වැඩ

දින 22 කට පසු සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු අද සිට යළි ආරම්භ කෙරෙනවා. ඒ අනුව විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල අද උදෑසන සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට ද නියමිත බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. ඉකුත් නොවැම්බර් මස 15 වනදා සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව තාවකාලිකව වසා දැමුණේ එහි ගබඩා කර තිබූ බොර තෙල් තොග අවසන් වීම හේතුවෙන්.

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව උපරිම ධාරිතාවයෙන් පවත්වාගෙන යාමට නම් දිනකට බොරතෙල් ටොන් 6,500 ක් අවශ්‍ය වනවා. එලෙස උපරිම ධාරිතාවයෙන් ඉන්ධන පිරිපහදුව ක්‍රියාකරන අවස්ථාවකදී දෛනිකව එල් පී ගෑස් ටොන් 90 ක්ද, සියයට 20 ක් හෝ 25 ක ප්‍රමාණයක් ඩීසල් ද, පෙට්‍රල්, භූමිතෙල් සහ ගුවන් යානා සඳහා යොදන ජෙට් ඒ වන් ඉන්ධන සියයට 15 බැගින් ද සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවෙන් නිකුත් කෙරෙනවා.

එහිදී දැවිතෙල් සියයට 35 ක පමණ ප්‍රමාණයක් ද අවශේෂ ලෙස සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවෙන් නිකුත් කරන බවයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. පිරිපහදුවේදී ඉතිරි වන නැප්තා, විදුලි උත්පාදනය කිරීම සඳහා බලාගාර වෙත යොමු කෙරෙනවා.

දෛනිකව එලෙස ඉන්ධන නියමිත ප්‍රමාණයන්ගෙන්ම පිරිපහදු කර නිකුත් කිරීමට බලපාන තවත් ප්‍රධාන කරුණක් වන්නේ ආනයනික බොරතෙල් වර්ගයේ ගුණාත්මකභාවයයි.

මේ දක්වා සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව තුළ පිරිපහදුවට ලක් කෙරුණේ ඕමානය, සෞදිය හා ඉරානය යන රටවලින් ආනයනය කරන ලද බොරතෙල්. කෙසේවෙතත් ඛණිජතෙල් වෘත්තීය සමිති පැවසුවේ මේවනවිට බොරතෙල් රැගෙනවිත් ඇත්තේ චීනයෙන් බවට තොරතුරු වාර්තා වන බවයි.

දීර්ඝ කාලයක් තෙල් පිරිපහදුවේ කටයුතු නතර කර තැබුවහොත් එහි පැවැත්මට ද හානි සිදුවිය හැකි බව ඛණිජතෙල් වෘත්තීය සමිති මීට පෙර ප්‍රකාශ කර තිබුණා. එසේ වුවහොත් පිරිපහදුව අලුත්වැඩියා කිරීම සඳහා කෝටි ගණනක මුදලක් වැයවනු බව ද ඔවුන් සඳහන් කළා.

මේ අතර බොරතෙල් මෙටි්‍රක් ටොන් 92,000 ක් රැගත් නෞකාවක් මේවනවිට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. සපුගස්කන්ද ඉන්ධන පරිපහදුවේ කටයුතු උපරිම ධාරිතාවයෙන් සිදුකළ හොත් මෙම බොරතෙල් ප්‍රමාණය, ප්‍රමාණවත් වන්නේ දින 15 කට පමණයි.

(Neth)