Wednesday, February 18, 2026
Follow Us
ගෑස් කමිටු වාර්තාව නිකුත් කරයි

ගෑස් සිලින්ඩර ආශ්‍රිත සිද්ධීන් 458ක් ගැන විමර්ශනය කරයි


ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරායාම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිළිබඳ විසඳුම් සෙවීමේ කමිටුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව 2021.01.01 වන දින සිට 2021.12.05 වන දින දක්වා දිවයින පුරා වාර්තා වු ගෑස් සිලින්ඩර ආශ්‍රිත මුළු සිද්ධීන් 458ක් සම්බන්ධව කරුණු විමර්ශනය කර තිබේ.

සිදුකළ විමර්ශනවලදී ගෑස් සිලින්ඩර ආශ්‍රිත සිදුවීම්වල සැලකිය යුතු අඩුවීමක් කමිටුව විසින් නිරීක්ෂණය කර තිබෙන බවට එම කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතා සඳහන් කර ඇත.

ඒ අනුව සමස්ත සිදුවීම් 458න් 244ක් ම ගෑස් කාන්දුවීම සම්බන්ධව ලැබුණු පැමිණිලි බවට නිරීක්ෂණය වු බව කමිටු වාර්තාවේ දැක්වෙයි.
එමෙන්ම කමිටුව විසින් ගෑස් කාන්දුවීම් හඳුනා ගැනීම සඳහා අනන්‍ය වු ගන්ධය නොමැතිවීම ප්‍රධාන ගැටලුවක් ලෙස හඳුනාගෙන තිබේ.

ඒ පිළිබඳව අදාළ අයාතන හා සමාගම් සමග කළ සාකච්ඡාවේ දී අදාළ සමාගම් මින් ඉදිරියට නිකුත් කරනු ලබන ගෑස්වල ප්‍රමාණවත් ඊතයිල් මර්කැප්ටන් රසායන ද්‍රව්‍ය නියමිත සාන්ද්‍රණයෙන් යුතුව ඇතුළත් කිරීමට එකඟ වී තිබේ.

ඒ අනුව මින් ඉදිරියට ගෑස් සිලින්ඩරයේ ගෑස් කාන්දුවක් ඇති වුවහොත් ඒ බව පාරිභෝගිකයාට පහසුවෙන් හඳුනාගත හැකිය.

වාර්තා වු සිදුවීම්වලට අදාළ ගෑස් කාන්දුවීම්වලදී මෙම ගන්ධය නිකුත් නොවීම නිසා පාරිභෝගිකයින් විසින් නොයෙකුත් අනාරක්ෂිත ක්‍රම ඔස්සේ ගෑස් සිලින්ඩරවල කාන්දුවීම් පරීක්ෂා කිරීමට යාමෙන් මින් ඉදිරියට වළකින ලෙස ද කමිටුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

දෙවන කාරණය ලෙස කමිටුව විසින් හඳුනාගෙන ඇත්තේ තත්ත්වයෙන් බාල හා නියමිත කාලය ඉකුත්වු රෙගියුලේටර්, ගෑස් සැපයුම් නළ, හෝස් ක්ලිප් හා දිරාපත්වු උදුන් භාවිතය බව ද එම නිවේදනයේ දැක්වේ.

(Aruna)