වසංගතයෙන් පසු ආර්ථිකය ප්‍රකෘතිමත් කර ගැනීම සඳහා කලාපයේ සියලුදෙනා සහයෝගයෙන් එක්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහිදී ආරම්භ වූ ඉන්දියානු සාගර සමුළුවේ සමාරම්භක දේශනය සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. කොරෝනා වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ලොව පුරා ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් දැඩි පිරිවැයක් දැරීමට සිදුව තිබෙනවා.
ආර්ථික ක්‍රියාකාරකම්වල ද සීග්‍ර මන්දගාමීත්වය ගෝලීය සංචාර, වෙළඳාම සහ ආර්ථික වර්ධනය කෙරෙහි බරපතල අභියෝග එල්ල කරමින් තිබෙනවා.
සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙය ඉතා දරුණු ලෙස බලපා ඇති බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ. මෙම අභියෝගය ජය ගත හැක්කේ ධනවත් ජාතීන් සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබාදෙන සහයෝගය මත පමණක් බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කළා.
සෑම පුරවැසියෙකුම එන්නත්කරණයට ලක් කරන තුරු කොරෝනා වසංගතය අවසන් නොවනු ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ධනවත් බවින් අඩු රටවල එන්නත් කිරීමේ ක්‍රියාවලියට වඩාත් ඵලදායී ලෙස සහය දෙන මෙන් හා එසේ කිරීමට හැකියාව ඇති සියලු ජාතීන්ගෙන් තමන් ඉල්ලීමක් කරන බව ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.
ඉන්දියානු සාගර කලාපය මිනිස් ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ත්‍රස්තවාදය ඇතුළු සැලකිය යුතු සාපරාධී ක්‍රියාකාරකම්වල ස්ථානය බව ද පිළිගත යුතුයි.
මත්ද්‍රව්‍ය ජාවාරම කලාපීය රටවලට සැලකිය යුතු ගැටළුවක්ව පවතින අතර මෙම ජාවාරම් ඵලදායී ලෙස මැඩපැවැත්විය හැක්කේ බුද්ධි අංශ, වෙරළාරක්ෂක සහ කලාපීය රටවල නාවික හමුදා අතර මනා සම්බන්ධීකරණයෙන්.
මිනිස් ජාවාරම මැඩපවැත්වීම සඳහා ද මේ හා සමාන සම්බන්ධීකරණයක සහ සහයෝගීතාවක අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී පෙන්වා දුන්නා. කලාපීය රටවලට ආගමික අන්තවාදයෙන් සහ ත්‍රස්තවාදයෙන් එල්ල වී ඇති තර්ජනයන්ට එරෙහිව සටන් කිරීමට ද එවැනිම සම්බන්ධීකරණයක අවශ්‍යතාව මතුව තිබෙනවා.
ප්‍රවේශමෙන් නිරීක්ෂණය කර මර්ධනය නොකළහොත් අන්තවාදී සහ ත්‍රස්තවාදී මතවාද ජාතියකින් තවත් ජාතියකට පහසුවෙන් පැතිර යා හැකි බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියානු සාගර සමුළුවේ සමාරම්භක දේශනය සිදුකරමින් වැඩිදුරටත් අවධාරණය කළේ.
(Neth)