Wednesday, February 18, 2026
Follow Us
චීන ආයෝජන අපට ඩොලර් හොයන්න උදව් වෙනවා මිස රටෙන් ඩොලර් පිටට ගෙනියන ඒවා නෙවෙයි - විමල්

චීනය ශ්‍රී ලංකාවෙහි කර ඇති ආයෝජන යනු ශ්‍රී ලංකාවට ඩොලර් ආදායම් උපදවාලීම සඳහා උපකාර වන ආයෝජන මිස ශ්‍රී ලංකාවෙන් පිටට ඩොලර් ආපසු රැගෙන යන ආයෝජන නොවන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

''ඩොලර් ආදායමේ ඇතිවී තිබෙන බිඳවැටීමත් එක්ක අද යම්කිසි අර්බුදකාරී තත්වයක් උද්ගත වෙලා තිබෙනවා. දැන් චීනය ගැන බොහෝදෙනා විවිධ මත පළ කරනවා, ඒ මොන මත පළ කරත් අපි දන්නවා චීනය කරලා තියෙන ආයෝජන බොහොමයක් අපට ඩොලර් ආදායම් උපදවාලීම සඳහා උදව් වෙන ආයෝජන මිසක් අපේ ඩොලර් රටින් එළියට අරගෙන යන ආයෝජන නෙවෙයි.

කොළඹ වරාය නගරය නිසි පරිදි ක්‍රියාත්මක වීම ආරම්භ වීමත් සමග එමගින් උපදවා ලන්නේ අපේ රටට ඩොලර් ආදායම මිසක් වෙනත් දෙයක් නෙවෙයි. එමගින් බදු හැටියට අපි එකතු කරගන්නේ ඩොලර් වලින් අගයක් මිසක් වෙන අගයක් නෙවෙයි. මේ හම්බන්තොට ජාත්‍යන්තර වරාය වුණත් එහි සම්පූර්ණ සේවාවන් සපයා දෙන තත්වයට පත්වීමත් සමග මෙමගින් උපදවා ලන්නෙත් මේ රටට විදේශ විනිමය මිසක් වෙනත් මුදල් නෙවෙයි''

අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ හම්බන්තොට වරාය ආශ්‍රිත යෝජිත කර්මාන්ත පුරයේ කාර්යාල සංකීර්ණයක් ඉදිකිරීම සඳහා චීන සමාගමක් සමග ගිවිසුම් අත්සන් කිරීමේ උත්සව අවස්ථාවට ඊයේ (03) එක්වෙමිනි.

(LNW)