Wednesday, February 18, 2026
Follow Us
ගෑස් අනතුරු වළක්වා ගැනීමට ජනපති පත් කළ කමිටුවෙන් යෝජනාවලියක්

ගෑස් සිල්න්ඩර ආශ්‍රිත ගිනි ගැනීම් හෝ පුපුරා යාම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිලිබඳ විසඳුම් සෙවීමේ ජනාධිපති කමිටුව විසින් අනතුරු වළක්වා ගැනීම සඳහා ප්‍රායෝගික උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ, එම කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොලගේ අත්සනින් යුතුවයි.

ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමේදී අලෙවි නියෝජිතයා ලවා එම අවස්ථාවේදීම එම සිලින්ඩරයේ ගෑස් කාන්දුවක් නොමැති බව තහවුරු කර ගැනීම, ගෑස් කාන්දුවක් සිදුවන්නේ නම් එවැනි සිලින්ඩර නිවසින් ඉවත් කර එලිමහන් ස්ථානයක තැබීම, අනවශ්‍ය පරීක්ෂාවලින් වැළකීම, රෙගියුලේටරය, ගෑස් සැපයුම් නලය සහ ගෑස් ලිප නිසි ප්‍රමිතියකින් හා ක්‍රියාකාරීත්වයකින් යුතු දැයි තහවුරු කර ගැනීම ඇතුළු කරුණු 13 ක් එම උපදෙස් මාලාවට ඇතුළත්.

කිසියම් ගෑස් කාන්දුවක් ඇති බවට නිරීක්ෂණය වන්නේ නම් ඒ සම්බන්ධයෙන් ගෑස් අලෙවි නියෝජිතයාට, ලගම ඇති පොලිස් ස්ථානයට හෝ 011 5 811 927, 0115 811 929 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙසයි එම කමිටුව ඉල්ලා සිටින්නේ.

පසුගිය මාස 11 ක කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගෑස් සිලින්ඩර සම්බන්ධ සිදුවීම් 131 ක් වාර්තා වී ඇති බව ද කමිටුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. දැනට වාර්තා වී ඇති සිදුවීම්වලට අදාළ උපාංග, විශේෂඥයින් ලවා කඩිනම් පරීක්ෂණයකට ලක් කිරීමට ද නියමිත බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

(Neth)