Wednesday, February 18, 2026
Follow Us
පැය 48 ක් දෙන්න ගෑස් පිපිරීම්වල ඇත්ත කතාව රටට කියන්නං - ඩලස්

ගෘහස්ත ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවන පිපිරීම් සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන සිදුවෙමින් පවතින බව කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා පවසනවා. පැය 48 ක කාලය තුළ සත්‍ය තත්වය රටට හෙලි කරන බවයි ඇමතිවරයා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගිවෙමින් සඳහන් කළේ.

මෙතෙක් වාර්තා වී ඇති කිසිදු සිදුවීමකදී ගෑස් ටැංකිය පිපිරී යාමක් සිදුව නොමැති බවත්, කෙසේ නමුත් ආසන්න දින කිහිපය තුළදී ගෑස් සිලින්ඩර ආශ්‍රිත පිපිරීම් ඉහළ ප්‍රමාණයක් සිදුව ඇති බව රජය පිළිගන්නා බවත් ඔහු පවසනවා.

ගෑස් පිරවීමේදී ගෑස් ටැංකිවල අඩංගු වියයුතු සංයුතිය නියාමනය කිරීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් නොතිබූ බවත් එය වර්තමානයේදී පමණක් නොව ඉතිහාසය පුරා සිදු වූ අත්වැරැද්දක් බවත් පෙන්වා දෙන ඩලස් අලහප්පෙරුම මහතා පවසන්නේ ඒ සම්බන්ධයෙන් ලැජ්ජාවට පත්විය යුතු බවයි.

මොරටුව විශ්වවිද්‍යාලයත්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත්, රස පරීක්ෂක දෙපාර්තමේන්තුවත් සිදු කරන විමර්ශනවල ප්‍රතිඵල ඉදිරි පැය 48 තුළ රට හමුවේ තැබීමට හැකිවනු ඇතැයි විස්වාස කරන බවත් ඇමතිවරයා වැඩිදුරටත් පවසනවා.

(LNW)