මහ බැංකු අධිපතිගෙන් අනතුරු ඇඟවීමක්
මේ මොහොතේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ආධාර ලබාගතහොත් රජයේ සේවකයන් සංඛ්‍යාව අඩුකිරීම, විශ්‍රාම වැටුප් අඩුකිරීම හෝ කප්පාදු කිරීම වැනි කොන්දේසිවලට මුහුණ දීමට සිදුවිය හැකි බවත් ඔවුන්ගේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයන්හි සාමාන්‍යයෙන් එවැනි කොන්දේසි ඇතුළත් වන බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පැවැසීය.
පසුගියදා මහ බැංකු පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව කියා සිටියේය. පවතින තත්ත්වය මත බොහෝ දෙනකු ශ්‍රී ලංකාව මේ මොහොතේ දී අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙත යා යුතු බව කියා සිටිය ද එසේ නොයන්නට හේතු සඳහන් කරමින් මහ බැංකු අධිපතිවරයා මෙහිදී දීර්ඝ කරුණු දැක්වීමක් ඉදිරිපත් කළේය.
“අපේ අය සමහර වෙලාවට අහනවා අන්තර්ජාතික මූල්‍ය අරමුදලට යන්නේ නැත්තේ ඇයි කියලා. අන්තර්ජාතික මූල්‍ය අරමුදලට යන එක අපට කිසිම ගැටලුවක් නැහැ, අපට අවශ්‍ය නම්, දෙදාස් නවයේදී දහයෙදි අපි ගිහිල්ලා තියෙනවා. ඒ නිසා කිසිකෙනෙක් හිතන්න නරකයි ඒකට අපිට යන්නට බයක් තියෙනවා හෝ ප්‍රශ්නයක් තියෙනවා කියලා. එහෙම නෙමෙයි මෙතන තියෙන්නේ, ණය ප්‍රශ්නයට අපි මුහුණ දෙන්න අවශ්‍යයි. මේ ණය ප්‍රශ්නයට මූලික හේතුව තමයි දෙදහස් අටේ අප්‍රේල් මාසයේ සිට දෙදහස් දහනවයේ ජුනි මාසය දක්වා ඇමරිකානු ඩොලර් බිලියන හයයි දශම නවයක් මේ රටට ණය හැටියට ගැනීම. ස්වෛරීය බැඳුම්කරවලින්. ඒ කාලය වෙනකොට අපේ රටේ තිබුණු ණය ප්‍රමාණයට සෑහෙන දැඩි පීඩනයක් ආවා. දෙදහස් දාහතරේදී මේ රටේ අන්තර්ජාතික ස්වෛරීය බැඳුම්කර තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන පහයි. රටේ දළ දේශීය නිෂ්පාදිතය තිබුණේ බිලියන හැත්තෑ නවයයි.”
(Aruna)