Wednesday, February 18, 2026
Follow Us
ගුවන් තොටුපළින් වෛරසයට එන්න බෑ

දැනට ගුවන් තොටුපළ පරිශ්‍රවල ක්‍රියාත්මක ආරක්ෂක ක්‍රමවේදයන් නව වයිරස ප්‍රභේදය වෙනුවෙන් වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි ‘අරුණට’ පැවසීය.

කටුනායක ගුවන්​ තොටු​පළ තුළ ක්‍රියාත්මක වන සෞඛ්‍ය ආවේක්ෂණ කලාපය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගම​යේ සභාපති උපුල් රෝහණ සඳහන් කරයි.

නව කොවිඩ් ප්‍ර​භේදය අප රටට ඇතුළු වීමට ඉඩ නොමැති බවට කිසිවෙකුට ස්ථීරවම පැවැසීමට හැකියාවක් නොමැති බවත් ගුවන් තොටුපළේ පවත්වාගෙන යන සෞඛ්‍ය ආවේක්ෂණ කලාපයේ පවතින දුර්වලතාවත් ඊට හේතුව බවත් හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලාංකිකයකු හෝ විදේශීය සංචාරකයකු මෙරටට ගුවන් තොටුපළෙන් ඇතුළු වූ විට මුලින්ම සිදුකළ යුත්තේ කොවිඩ් සඳහා වන පරීක්ෂණයකට මුහුණ දීම. නමුත් ඔවුන් ආගමන විගමන නිලධාරීන්, රේගු නිලධාරීන් හමුවී තීරු බදු සාප්පුවට ගොස් අවසානයේ සෞඛ්‍ය අංශ හමුවට ඉදිරිපත් වීම ගැන සෑහීමකට පත්විය නොහැකි බව හෙතෙම පෙන්වා දෙයි.

එසේ පැමිණෙන කිසියම් සංචාරකයෙකු හෝ මෙරට පුරවැසියෙකු යම් ආකාරයකට ප්‍රබල කොවිඩ් වයිරසය ආසාදිතව සිටින අයෙකු නම් තත්ත්වය බරපතළයි. මොකද සෞඛ්‍ය ආවේක්ෂණ කලාපයට ඇතුළු වීමට පෙර හමුවන සියලුම දෙනාට රෝගය පැතිර වීමේ අවස්ථාව එම අය සතුව ඇති නිසයි.

අනෙක් කාරණය වන්නේ රටවල් කීපයකට පමණක් සංචරණ සීමා පැනවීමෙන් කුමන අවස්ථාවකවත් වයිරසය මෙරටට ඇතුළු නොවන බව කියන්න හැකි කෙනෙක් අපේ රටේ නැහැ. ඒ වෙනුවට කළ යුත්තේ නිසි සෞඛ්‍ය පරීක්ෂණ ක්‍රමවේදයක් කඩිනමින් රට පුරා ස්ථාපනය කිරීමයි. එසේ නොවන්නේ නම් අපේ රට නැවතත් දැඩි අවදානම් තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැකි වනවා යැයිද හෙතෙම කීය.

(Aruna)