Wednesday, February 18, 2026
Follow Us
නව කොවිඩ් ප්‍රභේදය හමුවේ ශ්‍රී ලංකාව ගත් තීරණය

දකුණු අප්‍රිකාවෙන් හදුනාගෙන ඇති නව විකෘති කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් වාර්තා වී ඇති රටවල සිටින පුද්ගලයින්ට මෙරටට පැමිණීම අද සිට තහනම් කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ අනුව විදේශිකයින්ට මෙන්ම අදාල රටවල සිටින ශ්‍රී ලාංකික ගුවන් මගීන්ටද මෙරටට පැමිණීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කිරීමටයි තීරණය කර ඇත්තේ.

දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, ලෙසතෝ, සිම්බාබ්වේ, ස්වාසිලන්තය, සහ නැම්බියා යන රටවල සිට පැමිණෙන ගුවන් මගීන්ට මෙම තහනම ක්‍රියාත්මක වන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස සඳහන් කලේ.

එම රටවල්වල සිට යම් අයෙකු මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා පිටත්ව ඇත්නම් එලෙස පැමිණෙන පිරිස් නිරෝධායනයට යොමු කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

දකුණු අප්‍රිකානු විකෘති වෛරස් ප්‍රභේදය වාර්තා වී ඇති රටවල සංචාරකයින්ට තහංචි පැනවීමට බි්‍රතාන්‍යය, ජපානය, ජර්මනිය, ඉතාලිය, ඊශ්‍රායලය හා සිංගප්පූරුව දැනටමත් පියවර ගෙන තිබෙනවා.


(Neth)