හිතට එකඟව වැඩ කරන කණ්ඩායමක සහාය අවශ්‍යයි
රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති බවත්, මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින් ම කාබනික පොහොර භාවිතයට යොමු කෙරෙන හරිත කෘෂිකර්මාන්තයක් සඳහා ම පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
රජයක් ලෙස කාබනික පොහොර බෙදාහැරීම, සහනාධාර ලබා දීම කාබනික ගොවිතැන වෙනුවෙන් පමණක් සිදු කරන බව ජනාධිපතිවරයා පවසයි.
ගොවීන් නිසි ලෙස දැනුවත් කළ යුතු ය. එමෙන් ම එය ක්‍රියාත්මක කිරීමේදී පවතින රසායනික පොහොර මාෆියාව පිළිබඳ හඳුනා ගත යුතු ය. ඒ සමග සටන් වැද නිවැරදි දේ ජයග්‍රහණය කරවීමට නිලධාරීන්ගේ කැපවීම අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මහ කන්නයේ වගා කටයුතු සහ කාබනික පොහොර සැපයුම සම්බන්ධයෙන් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.
ගොවීන් උද්ඝෝෂණවල යෙදීමට සහ වගා කටයුතු ප්‍රමාද කිරීමට හේතුව ඔවුන් නිසි ලෙස දැනුවත් නො වීම බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එලෙස දැනුවත් නො කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිලධාරීන් වෙත සිය අප්‍රසාදය පළ කළේය.
හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය තුළ සිටිමින් උද්ඝෝෂණය කරන ගොවීන් වෙනුවෙන් පිළිතුරු සෙවීමට නිලධාරීන් ක්‍රියා කළ යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා, රජයේ ප්‍රතිපත්තියට එකඟ නො වන නිලධාරීන්ට ඉන් ඉවත් වීමට බාධාවක් නොමැති බවත් සඳහන් කරනු ලැබීය.
හිතට එකඟ ව, පැහැදිලිව වැඩ කරන කණ්ඩායමක සහාය මෙම වැඩපිළිවෙළේ සාර්ථකත්වය වෙනුවෙන් අවශ්‍ය බවත් ජනාධිපතිවරයා පැවසීය.
(Aruna)