Wednesday, February 18, 2026
Follow Us
නැනෝ නයිට්‍රිජන් ඉන්දියාවේ ඩොලර් 3.23යි, ලංකාවේ 12.45යි. මහින්දානන්දත් අන්තිමේ තැටිය මාරු කරයි

ඉන්දීය ඉෆ්කෝ සමාගමෙන් ශ්‍රී ලංකාවට නැනෝ නයිට්‍රිජන් පොහොර මිලදී ගැනීමේදී මිලිලීටර් 500ක මිල ඇමරිකානු ඩොලර් 12.45ක් වුවත් එම පොහොර එම ප්‍රමාණය ඉන්දියාවේදී අලෙවි කෙරෙන්නේ ඇමරිකානු ඩොලර් 3.23කටය. මෙම ගනුදෙනුව රට තුළ මහත් ආන්දෝලනයකට ලක්වූ නමුත් ආණ්ඩු පාර්ශ්වය දිගින් දිගටම පැවසුවේ එහි කිසිදු අක්‍රමිකතාවක්, ගැටළුවක් සිදුව නොමැති බවය.

"මම කෘෂිකර්ම අමාත්‍යවරයා. මේක පොහොර අමාත්‍යාංශයෙන් තමයි මේ සියලු කටයුතු කරන්නේ. මට පොහොර අමාත්‍යාංශය දෙන තොරතුරු තමයි මම කියන්නේ. මේ පාර මේ සමාගමත් එක්ක සාකච්ඡා කරලා දැන් ඩොලර් 10කට අඩු කරන්න කටයුතු කරලා තියෙනවා. ඉදිරි කාලයේදී මේක තවත් අඩු කරගන්න උත්සාහ කරනවා. අපටත් දැනෙනවා මොහු යම් විශාල ලාබයක් තියනවා කියලා අපට ඉදිරිපත් කරලා තියෙන එක තුළ. අපි ඉන්දීය තානාපතිතුමා හරහා මේක වෙනස් කරගන්න අපි මේ වෙනකොට කටයුතු කරගෙන යනවා" යැයි මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ඊයේ (18) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් මෙම විශාල මිල වෙනස පිළිබඳව මීට පෙර පාර්ලිමේන්තුවේදී විපක්ෂය ප්‍රශ්න කළ අවස්ථාවක අමාත්‍යවරයා පැවසුවේ ඉන්දියාවේ අඩු මිලට දෙන්නේ නැනෝ යූරියා පොහොර වන අතර ශ්‍රී ලංකාවට ගෙන්වන්නේ මිලෙන් වැඩි නැනෝ නයිට්‍රිජන් පොහොර බවකි. මේ ගනුදෙනුව ප්‍රශ්නකාරී බව අමාත්‍යවරයා පළමුවරට පවසන්නේ ඊයේ දිනයේදීය. ඒ අනුව මේ වනවිට අමාත්‍යවරයා ද තැටිය මාරු කරමින් සිටින බව පෙනේ.

(LNW)