Thursday, February 19, 2026
Follow Us
පලිගැනීමට ලක්වූ පොලිස් නිලධාරීන්ට සහන සැලසීමේ නිර්දේශ අමාත්‍ය මණ්ඩලයට යොමු කෙරේ

පසුගිය රජය සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ පොලිස් නිලධාරීන්ට සහන සැලසීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සිය නිර්දේශ අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර තිබෙනවා. ඒ අනුව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේදී ඉදිරියේදී සාකච්ඡාවට ලක්වනු ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය රජය සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ පොලිස් නිලධාරීන් 80 කට ආසන්න පිරිසක් දේශපාලන පළිගැනීම්වලට ලක්වූ පොලිස් නිලධාරීන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලයට පැමිණිලි කර තිබුණා. ඒ අනුව ඔවුන් සම්බන්ධයෙන් එම කාර්යාලය ලබාදී තිබූ නිර්දේශ අමාත්‍ය මණ්ඩලය මඟින් රාජ්‍ය සේවා කොමිසම වෙත ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව රාජ්‍ය සේවා කොමිසම අදාළ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නැවත කරබිනට් මණ්ඩලයෙන් විමසීමක් කර ඇත්තේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුවයි.

දේශපාලන පළිගැනීම්වලට ලක්ව සිටි මෙවැනි නිලධාරීන් කණ්ඩායමක් පසුගිය රජය සමයේද උසස්වීම් ලැබුවා. පසුගිය රජය සමයේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව එම උසස්වීම් ලබාදිය යුතු බවයි එවකට මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රවී කරුනානායක නිර්දේශ කර ඇත්තේ.

එවකට ජනාධිපතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී ඇත්තේ විනය පරීක්ෂණවලට භාජනය වී ඇති නිලධාරීන් සහ එවකට පොලිස් සේවයේ නියුතු නිලධාරීන්ගේ ජේ්‍යෂ්ඨත්වයට බාධාවක් නොවන පරිදි අදාළ උසස්වීම් ලබාදෙන ලෙසයි.

(Neth)